තමන්ම දිවැස් ප්රසාදිවරු කියා ගන්නා අය මිනිසුන් මුළා කිරීමේ ව්‍යාපෘතියක නිරත වෙලා ඉන්නවා
දිවැස් ප්‍රසාදිවරයකු ලෙස පෙනී සිටීමට කිසිවකුට නොහැකි බවත් කිසිවකුට එලෙස පෙනී සිටීමට අයිතියක් ලබාදී නොමැති බවත් කොළඹ අගරදගුරු කාදිනල් රංජිත් හිමියෝ කියා සිටියහ.
දිවැස් ප්‍රසාදි ධුරය ලබාදෙනු ලබන්නේ දෙවියන් වහන්සේ විසින් තෝරා ගන්නා තැනැත්තාට පමණක් යැයිද කාදිනල්තුමා පැවසුවේය.
රාගම තේවත්ත ප්‍රදේශයේ පැවැති ආගමික වැඩසටහනකදී කාදිනල්තුමා මේ බව පවසා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල්තුමා
“අද අපේ සමාජයේ සමහර අය කියනවා ඒ අය දිවැස් ප්රසාදිවරු කියලා. දිවැස් ප්‍රසාදි තනතුර ආරූඩ කරගන්නවා. එහෙම ආරූඩ කරගත්ත දිවැස් ප්‍රසාදි තනතුරු නෑ. දෙවියන් වහන්සේගේ විශේෂ කැඳවීමක් ලැබුණු කෙනෙකුට තමයි දිවැස් ප්‍රසාදි ධුරය හිමිවන්නේ. තමන්ම දිවැස් ප්රසාදිවරු යැයි කියා ගන්නා අය අද මිනිසුන් මුළා කිරීමේ ව්‍යාපෘතියක නිරත වෙලා ඉන්නවා. ඔය කියන දිවැස් ප්‍රසාදිවරයා තමන්ම ඒ ලෙස හඳුන්වාගෙන කරගෙන යන වැඩපිළිවෙළට අසුවෙලා ඉන්නේ මේ උගත් අයයි. සමාජයේ පොහොසත් අය. කෙරුම්කාරයෝ. මේ සියලු දෙනාගෙන්ම මුදල් අරගෙන මේ පුද්ගලයා ජාවාරමක නිරතව සිටිනවා. මොහු අන්‍යාගමික සහෝදර සහෝදරියන්ට අපහාස කරමින් සිටිනවා.
බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ලෙස කෙනෙකු අන්ඳවාගෙන ඇවිල්ලා ඔහු සුව කරනවා කියලා පෙන්නලා බෞද්ධයන්ගේ සිත පාරන්නට මේ දිවැස් ප්‍රසාදි කියලා කියාගන්නා තැනැත්තා කටයුතු කරලා තිබෙනවා.
බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ම මේ සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. ඔහු අන්තිමටම සිදුකරන ලද දේ ඔවුන්ගේ සිත්පාරන කටයුත්තක් වී තිබෙනවා. ඔහුගේ මේ ක්‍රියාදාමය පිළිකුල් ලෙස අපි හෙළා දකිනවා. ආගම පදනම් කරගෙන සමාජය බේද බින්න කරන්නට මේ තැනැත්තා දරන උත්සාහය අපිට කිසිවිටෙකත් පිළිගන්න බැහැ.. මේ සිද්ධිය ගැන අපේ බෞද්ධ සහෝදරයන්ට කනගාටුව පළ කරනවා .ඔවුන්ට යම් සිත් පෑරීමක් සිදු වුණානම් අපේ කනගාටුව ප්‍රකාශ කරනවා.“ යැයිද කාදිනල්තුමා පැවසුවේය