කතරගම දේවාලයට විගණනයෙන් පනී
විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පෙරේදා (05 වැනිදා) උදෑසන සිට රුහුණු කතරගම මහා දේවාලයට පැමිණ එහි ප්‍රධාන කාර්යාලයේ විගණන පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
විහාර දේවාලගම් පනත අනුව මෙහි විගණනයක් කරන්නේ නම් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ ඉල්ලීම මත විගණකාධිපති දෙපාර්තමේන්තුව එහි යා යුතු වුවද කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේවරයා දැනුම් දෙනතුරු බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා මේ බව දැන සිට නැතැයි අනාවරණය වී ඇත.
රුහුණු කතරගම මහ දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල රත්නායකගේ පැමිණිල්ලක් මුල් කර ගනිමින් ජනාධිපති කාර්යාලය කළ දැනුම් දීමකට අනුව බව පවසමින් විගණන නිලධාරීන් එහි පැමිණි බව අනාවරණය වී ඇත. මොනරාගල පිහිටි විගණන කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් එහි පැමිණ පෙරේදා (05 වැනිදා) පස්වරුව වන තුරු විගණන කටයුතු ආරම්භ කර තිබිණි.
කතරගම මහා දේවාලයට පාතාල නායක අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් අපලයකට බාර කළ රන්තැටියක් අතුරුදන්වීම ඇතුළු චෝදනාවලට රුහුණු කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා ලක්විය. දේවාලයේ එක කපුවකුට දේවාලයේ පඬුරුවලින් මාසයකට ලැබෙන රුපියල් කෝටි හතරක පමණ මුදල් විගණනයට ලක් නොවන බව එහි පැමිණි විගණන කණ්ඩායම්වලට දේවාලයේ රාජකාරී කටයුතු කරන නිලධාරීන් විසින් පෙන්වා දී තිබේ. බස්නායක නිලමේවරයාගේ කාර්යාලයට ලැබෙන සෑම ආධාරයක්ම විනිවිද භාවයකින් යුතුව වෙබ් අඩවියේ පළ කරන බවද මෙම විමර්ශනයේදී පෙන්වා දී තිබේ.
රුහුණු කතරගම මහා දේවාලයට විගණනය සඳහා ගිය නිලධාරින් විගණනය ආරම්භ කිරීම ගැන ලිපියක් එවූ බව පෙරේදා (05 වැනිදා) කතා කර දැන්වුවත් තමා වෙත එවැනි ලිපියක් ලැබී නැති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්. එම්. පී. රත්නායක අරුණ කළ විමසුමකදී පැවැසීය. තමාට ලිපියක් එවූ බවට විගණනයට පැමිණි නියෝජ්‍ය විගනකාධිපතිවරයා දැන්වුවත් ඊයේ (06 වැනිදා) සවස්වනතුරුත් එවැනි ලිපියක් නොලැබුණු බව හෙතෙම පෙන්වා දුන්නේය.
විහාර දේවාලගම් පනත අනුව බෞද්ධ කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලීමක් කළ පසු විගණනයක් ඇරඹීම මෙතෙක් සිදු වූවත් විගණකාධිපතිගේ බලතල අනුව එවැනි දෙයක් ක්‍රියාත්මක කළ හැකි බවද බෞද්ධ කොමසාරිස් ජනරාල්වරයාට අරුණ කළ විමසීමේදී පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධ රජයේ විගණකාධිපති ජනරාල් පී, සී. වික්රමරත්නගෙන් කළ විමසුමකදී පැවැසුවේ මහජන පැමිණිල්ලක් මත මොනරාගල නියෝජ්‍ය විගණකාධිපති කාර්යාලයෙන් පෙරේදා (05 වැනිදා) අරඹා තිබූ විමර්ශනය තාවකාලිකව නවත්වන ලෙසට තමන් ඊයේ (06 වැනිදා) උපදෙස් දුන් බවය. මහජන පැමිණිලි සම්බන්ධව කටයුතු කරන නියෝජ්‍ය විගණකාධිපතිවරයා විසින් මෙම මහජන පැමිණිල්ල මොනරාගල කාර්යාලයට යොමුකර තිබී ඇතැයි විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය.
කතරගම මහා දේවාලයේ විගණනයට නිලධාරින් යන බව තමන් දැනුවත්ව නොසිටි බවත්, විහාර දේවාලගම් පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙතෙක් පැවැති ක්‍රමවේද අනුව ක්‍රියාත්මක විය යුතු නිසා තාවකාලිකව විගණන කාර්යය නවත්වන ලෙස තමන් නිලධාරින්ට දැන්වූ බවත් විගණකාධිපතිවරයා පැවැසීය. අවශ්‍ය ක්‍රමවේද අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම පෙන්වා දුන්නේය.
මෙවැනි විගණනයක් ඇරඹීම ගැන සතුටුවන බවත්, විගණන නිලධාරින් එක් දිනයක් තුළ කළ විමර්ශනයෙන් විගණනය නොවී මාසිකව දේවාලයේ කපු මහතුන්ට යන රුපියල් කෝටි ගණනක පඬුරු ගැන මෙහිදී හෙළි වූ බව රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරගෙන් අරුණ කළ විමසුමකදී පැවැසුවේය.
දේවාලයේ ප්‍රධානම ආදායම් මාර්ගය වන පූජා වට්ටියට තබන පඬුරු මුදල් දේවාලයට ඇතුළුවන තැන පඬුරු පෙට්ටියට වැටෙන පඬුරු හා පොල් ගසන ස්ථානයෙන් එකතුවන කොප්පරා ආදායම යන මුදල් කිසිවක් දේවාලයේ ගිණුමට ගිණුම්ගත නොවී කපු මහතුන් රැගෙන යන බැව් විගණන නිලධාරින් තහවුරු කරගත් බවද බස්නායක නිලමේවරයා පෙන්වා දුන්නේය.
පඬුරුවලින් මාසයකට කෝටි හතරක් පමණ විතර කපු මහත්වරුන්ට යනවා. බැතිමතුන් ගහන පොල් කොප්පරාවලට විකුණලා මාසයකට ලක්ෂ විස්සක් විතර ගන්නවා. මේ මුදල් ගිණුම්ගත වන්නේ නැහැ. ජනාධිපතිවරයාට යොමු කළ මහජන පැමිණිල්ලක් මත විමර්ශන අරඹන බව විමර්ශනයට පැමිණි නිලධාරින් අපට දැන්වූවා. දැන් ලොකුම වංචාව සිදුවන ආකාරය ඒ නිලධාරින් අනාවරණ කරගත්තා යැයිද හෙතෙම පෙන්වා දුන්නේය.
උපුටාගැනීම: අරුණ