ඔන්ලයින් කැසිනෝවට ඇබ්බැහි වූ පුතා මවට ඉගැන්වූ අපූරු පාඩම
මත්ද්‍රව්‍ය සහ කැසිනෝ සූදුවට ඇබ්බැහි වූ පුද්ගලයන් ඒ සඳහා අවශ්‍ය මිල මුදල් සොයා ගැනීම සඳහා නොකරන දෙයක් නොමැති යැයි කීවොත් එය මුසාවක් නොවේ. මතට සහ සූදුවට තදින් ඇබ්බැහි වූවන්ගේ ප්‍රධාන ගති ලක්ෂණය එයයි. ඒ සඳහා ඕනෑම අපරාධයක් සිදු කිරීමට ඔවුන් පසුබට වන්නේ ද නැත. ඒ සඳහා උදාහරණ මෙරට අපරාධ ඉතිහාසයේ එමටය.
කොළඹ සමහර කැසිනෝ ශාලා අසල එළියේ රාත්‍රියට එක්රොක් වී සිටින පිරිස ගැන සොයා බලද්දී හෙළි වන්නේ ඔවුන් කැසිනෝ සූදුවට තදින්ම ඇබ්බැහිවී සිටි අය බවයි. තමන් සන්තකයේ ගේදොර ඉඩකඩම් සතා සිව්පාවා පවා අහිමි වී සිටින මේ අය තවමත් උත්සාහය අතහැර නැත. කැසිනෝ ශාලා ඇතුළේ සිට එළියට එන අයගේ පසුපස ගොස් මුදල් සිඟා කන තත්ත්වයට පත්ව සිටින මේ අය මුහුණපා සිටින තත්ත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැත.
විශේෂයෙන් මෙවැනි සූදුවලට ඉතා තදින් ඇබ්බැහිවී සිටින අය ඒ සඳහා මිල මුදල් සොයා ගැනීම සඳහා තමන්ගේ මව්පියන්, බිරිය, දූ දරුවන් සහෝදර සහෝදරියන් ඥාතීන් සතු මිල මුදල් රන් ආභරණ දේපළ සොරකම් කිරීමට පවා පෙලඹුන අවස්ථා ඇත. මෑතකදී එවැනි සිද්ධියක් අනාවරණය වූයේ සීතාවක පොලිස් කොට්ඨාසයට අයත් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් විසින් සිදු කරන ලද විමර්ශනයකදීය.
ඒ කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.
ඔහු රුවන්වැල්ල පොලිස් වසමේ වහරක ප්‍රදේශයේ වතු යායක පදිංචිව සිටි පුද්ගලයෙකි. ඇඟලුම් ශිල්පියකු ලෙස රැකියාව කළේය. 26 හැවිරිදි මේ පුද්ගලයා පදිංචිව සිටියේ මව සමඟය. එහෙත් ඔහු තදින්ම කැසිනෝ සූදුවට ඇබ්බැහිවී සිටියේය. මව එය දැන සිටියේ නැත.
ඒ පසුගිය වසරේ මාර්තු මාසයේ 13 වැනිදාය. ඇඟලුම් ශිල්පියාගේ මව රබර් කිරි කැපීම සඳහා නිවෙසින් පිටව යාමට සූදානම් වූවාය. ඊට පෙර ඇය පුතු දැනුම්වත් කළේ රැකියාවට යාමට පෙර නිවසේ දොර ජනේල හොඳින් වසා යන ලෙසය. ඇඟලුම් ශිල්පි පුතු මවගේ ඔවදන හිස මුදුනින්ම පිළිගත්තේය. මව කිරි කැපීම සඳහා පිටව ගියාය. පුත්‍රයා ද මව ගිය පසු රැකියාවට යාම සඳහා සූදානම් විය. මව දුන් අවවාදය ද ‘අකුරට’ පිළිපැද පුත්‍රයා නිවෙසින් පිටව ගියේය.
කිරි කැපීමෙන් අනතුරුව මව එදින දහවල් නිවෙසට පැමිණියාය. නිවෙසේ ජනේලයක් විවෘතව තිබෙනු දුටු ඇය විස්මයට පත් වූවාය. ජනේලයේ යකඩ ග්‍රිල් එක පවා ගලවා ඉවත්කර තිබුණ නිසාය. නිවෙස ඇතුළට ගිය මවට දැක ගැනීමට ලැබුණේ නිවෙසේ තිබුණු රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා රන් ආභරණ සහ රුපියල් ලක්ෂයක පමණ මුදල් අතුරුදන්ව ඇති බවයි. සොරෙකු නිවෙසට කඩා වැදී මේ මුදල් සහ රන් ආභරණ සොරකම් කරන්නට ඇතැයි ඇය සැක කළාය. ඇඟලුම් ශිල්පි පුතුට ද මේ බව දන්වා ඇය රුවන්වැල්ල පොලීසියට ද ගොස් මේ ගැන පැමිණිලි කළාය. රුවන්වැල්ල පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් මේ ගැන පරීක්ෂණයක් ආරම්භ කළත් අපරාධය සිදු කළ පුද්ගයා අල්ලා ගැනීමට හැකි වූයේ නැත. ඒ වන විට මේ සොරකම ගැන තොරතුරු සීතාවක කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයන්ට ද ලැබී තිබුණි.
සීතාවක කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට මීට දින කිපයකට පෙර ස්ථාන මාරුවීම් ලබා පැමිණි පොලිස් කොස්තාපල් (70701) සම්පත් මේ පැමිණිල්ල ගැන සොයා බැලීය. ඒ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ අභයධීරගේ උපදෙස් මතය.
රුවන්වැල්ල වහරක අදාළ නිවෙසට ගිය කොස්තාපල් (70701) සම්පත් මුලින්ම කළේ සොරා ඇතුළු වූ ජනේලය සහ එහි ඇතුළු වූ ආකාරය ගැන සොයා බැලීමයි. එහිදී ජනේලයට යොදා තිබුණු යකඩ රාමුව ගලවා තිබුණ ආකාරය ගැන නීරීක්ෂණය කළ කොස්තාපල් (70701) සම්පත්ට නිරීක්ෂණය වන්නේ එම යකඩ රාමුව නිවෙස ඇතුළේ සිට අයෙකු විසින්ම ගලවා ඇති බවයි. මේ අනුව මේ සොරකම සිදු කරන්නට ඇත්තේ නිවෙසේම කෙනෙක් විය හැකි බව සැක පහළ කළ කොස්තාපල් (70701) සම්පත් සොයා බලන්නේ නිවෙසේ සෙසු පදිංචිකරුවන් ගැනය.
ඒ අනුව කොස්තාපල් සම්පත් හෙළිකර ගන්නේ පැමිණිලිකාර කාන්තාවට අමතරව ඇඟලුම් සේවකයකු වන පුත්‍රයාද නිවෙසේ පදිංචිව සිටින බවයි. පුත්‍රයාගේ ‘කල්ක්‍රියාව’ ගැන සොයා බැලීම සඳහා ඔහුගේ ජංගම දුරකතන අංකය ලබාගත් කොස්තාපල් සම්පත් දුරකතන විශ්ලේෂණ වාර්තා සහ වෙනත් ක්‍රම මඟින් සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකදී අනාවරණය කර ගන්නේ අදාළ ඇඟලුම් සේවකයා අන්තර්ජාල යෙදවුමක් මඟින් කැසිනෝ සූදුවට තදින්ම ඇබ්බැහිවී සිටි අයකු බවයි.
ඒ අනුව මේ ගැන රුවන්වැල්ල පොලීසියට ද කරන ලද දැනුම් දීමකින් අනතුරුව සැකකාර ඇඟලුම් ශිල්පියා රුවල්වැල්ල වතුයායක පැළ තවානක් අසලදී සැකපිට අත්අඩංගුවට ගන්නේ රුවන්වැල්ල පොලීසියේ උප පොලිස් පරීක්ෂක ජයරත්න විසිනි. එසේ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කරද්දී සැකකරු ඔහුගේ මව සතු මිල මුදල්, රන් ආභරණ සොරකම් කිරීමේ සිද්ධියේ සුලමුල හෙළිකර ගැනීමට පොලිස් නිලධරයන්ට හැකි විය. ඔහු ජනේල රාමුව ගලවා ඇත්තේ පොලිස් විමර්ශනවලදී පොලීසිය නොමඟ යැවීම සඳහාය. සොරෙකු නිවසට කඩාවැදී මේ සොරකම සිදු කළ බව පෙන්වීම සඳහා සැකකරු ‘කතාවක් හදා’ තිබුණ බවද හෙළි විය.
එලෙස සොරකම් කළ රන් ආභරණ ඉතා අඩු මුදලට මහනුවර පදිංචි පුද්ගලයෙකුට සැකකරු විසින් අලෙවි කර තිබුණි. සැකකරු සන්තකයේ තිබුණ ජංගම දුරකතනයක කතුන්ගේ නිරුවත් ඡායාරූප ගොන්නක් ද තිබුණු බව විමර්ශනවලදී අනාවරණය විය. සැකකරු එම නිරුවත් කාන්තා ඡායාරූප එලෙස සිය ජංගම දුරකතනයේ ගබඩා කරගෙන සිටියේ කුමන හේතුවකට ද යන්න සොයා ගැනීම සඳහා පොලීසිය විමර්ශන සිදු කරයි.
චන්දන ලියනගේ සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිගේ උපදෙස් මත සීතාවක කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ අභයධීරගේ මෙහෙයවීමෙන් රුවන්වැල්ල පොලීසියේ උප පොලිස් පරීක්ෂක ජයරත්න සැරයන් (3223) ජයවර්ධන කොස්තාපල් (30701) සම්පත් යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.
දීපාල් සමරසේකර
උපුටාගැනීම: සිළුමිණ