සිසුවෙකුට තදබල ලෙස පහර දුන් විදුහල්පතිට තරු විසිවෙයි
පාසල් සිසුවෙකුට තදබල ලෙස පහරදී ඔහුගේ එක් කනකට තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොළොන්නරුව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
මැදිරිගිරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කල අදාළ විදුහල්පතිවරයා ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට හිඟුරක්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් නාලක මිහිර බණ්ඩාර නියෝග කර ඇත.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පහර කෑමට ලක්වූ බව කියන සිසුවා සම්බන්ධයෙන් සිදුකර ඇති අධිකරණ වෛද්‍ය පරීක්ෂණ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද වැඩබලන මහෙස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මැදිරිගිරිය පොලීසිය පෙන්වාදී ඇත්තේ තමා අධ්‍යාපන ලබන පාසලේ විදුහල්පතිවරයා පාසල් වේලාව තුළදී තමන්ට තදබල ලෙස පහරදී වද හිංසා කළ බව පවසමින් 17 හැවිරිදි සිසුවා විසින් සිදුකරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදුකර සැකකරු අත්අඩංගුවට ගත් බවය.
පහරකෑමෙන් සිසුවාගේ එක් කනකට තුවාල සිදුවී රුධිරය වහනය වී ඇති අතර ඔහු මැදිරිගිරිය රෝහල්ට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇති බව පොලීසිය අධිකරණය හමුවේ සඳහන් කර තිබේ.
නිසි ලෙස, කොණ්ඩය කපා නොමැති බව හා කළු පැහැති මේස් යුගලයක් පැළඳ පාසලට පැමිණි බවට චෝදනා කරමින් සැකකාර විදුහල්පතිවරයා මෙම පහරදීම සිදුකර ඇති බවත් මීට පෙර ද විදුහල්පතිවරයා අදාළ සිසුවාට විවිධ වධ හිංසා පමුණුවමින් තාඩන පීඩන සිදු කර ඇති බවට විමර්ශන වලදී අනාවරණය වූ බවත් මැදිරිගිරිය පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වා ඇති බව සඳහන්ය.
මේ අතර සැකකාර විදුහල්පතිවරයා පොලිසිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු අසනීප තත්ත්වයක් ඇති බව පවසමින් මැදිරිගිරියේ මූලික රෝහලට ඇතුළත්ව ඇති අතර වැඩබලන මහෙස්ත්‍රාත්වරයා රෝහලට ගොස් සැකකාර විදුහල්පතිවරයා පරීක්ෂා කිරීමෙන් ඔහු රක්ෂිත බන්ධනාගාර කිරීමට නියෝග කර ඇති බවට වාර්තා වේ.
රක්ෂිත බන්ධනාගාර ගත කළ විදුහල්පතිවරයා සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය මගින් ද විමර්ශනයක් ආරම්භ කර තිබේ.
උපුටාගැනීම: අරුණ