44% බද්ද 20%ට අඩු කරේ කොහොමද? වහාම හෙලිකරනු – නාමල්
එක්සත් ජනපදයට කරනු ලබන අපනයන මත පැනවීමට යෝජනා වී තිබුණු 44% ක තීරු බද්ද, 20% දක්වා අඩු කර ගැනීමට ශ්‍රී ලංකා බලධාරීන්ට හැකි වීම සම්බන්ධයෙන් සතුට පළ කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, බදු අඩු කර ගැනීම සදහා එක්සත් ජනපදය සමඟ ඇති කරගත් එකඟතා වහා රටට හෙළි කරන ලෙස දැනුම් දෙයි.
තීරු බදු අඩුකර ගැනීම සදහා එක්සත් ජනපදය සමඟ ඇති කරගත් “අර්ථවත් වෙළද සහ ආරක්ෂක ගිවිසුම්” පිළිබදව විනිවිද භාවයක් අවශ්‍ය යැයි නාමල් අවධාරණය කරයි. එවැනි ගිවිසුම් මගින් රටේ ස්වෛරීභාවයට හානිකිරීමට ඉඩ දිය නොහැකි බවයි නාමල් රාජපක්ෂ පවසන්නේ.
“ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ ඇති කරගන්නා සියළු ගිවිසුම් විනිවිදභාවයෙන් යුක්ත විය යුතුය. එමෙන්ම එම ගිවිසුම් රටේ ස්වෛරීභාවයට හානි නොකරන බවද සහතික කර ගත යුතුය.
එබැවින්, එක්සත් ජනපදය සමග ඇති කරගත් එකගතා පිළිබදව මහජනතාව දැනුවත් කළ යුතු යැයි, මම රජයට කියමි,” නාමල් සිය ට්වීටර් පණිවිඩයේ සදහන් කර තිබුණි.
