මට දැනුණෙ නිකන් මගේ බඩේ සමනල්ලු පියාඹනවා වගේ හැඟීමක් – අභිලාෂි
අභිලාෂි ශන්තුෂ්කි ප්‍රේක්ෂකයන් හඳුනාගන්නේ සිංහබාහු සිනමාපටයේ සුප්පා කුමරිය ලෙසිනි. ළාබාල වියේ පසුවන නවක රංගන ශිල්පිනියක් වූ ඇයගේ අභියෝගාත්මක රංගනය කාගේත් කතාබහට ලක්වූවා මතකය. සිංහබාහු තිරගත වී කලක් ගතවුණත් අභිලාෂී වෙනත් නිර්මාණයකින් දුටුවේ නැති තරම්ය. දිගු නිහැඬියාව බිඳිමින් හිරු නාළිකාවේ විකාශය වන ‘පාවී එන්න ආසයි‘ ටෙලි නිර්මාණයේ ගෞරවීගේ භූමිකාවෙන් ඇය මේ දිනවල ඔබ හමුවට එයි. දිගු නිහැඬියාවකින් පසු පුංචි තිරයේ දකින ඇය සමඟයි අද අපේ කතාබහ.
අභිලාෂි පළමු වතාවට මේ දිනවල පුංචි තිරයේ දකිනවා. කොහොමද ඒ අවස්ථාව ලැබෙන්නේ?
සිංහබාහු සිනමාපටයෙන් පස්සේ මං වෙනත් නිර්මාණයකට සම්බන්ධ වුණේ නෑ. චිත්‍රපට, ටෙලි නිර්මාණ ආරාධනා ගොඩක් ලැබුණා. චිත්‍රපට කිහිපයක් භාරගත්තත් ටෙලි නිර්මාණ භාරගත්තෙම නැති තරම්. ජයප්‍රකාශ් සිවගුරුනාදන් සහ චාමර සමරවික්‍රම දෙදෙනාම මට ‘පාවී එන්න ආසයි‘ ටෙලි නිර්මාණයට කතා කළා. අපි මෙහෙම වැඩක් කරනවා අපිට මේකට ඕන ඔයාවමයි කියලා. බුද්ධික අයියගේ ස්ක්‍රිප්ට් එක කියවද්දිම මටත් ආස හිතුණා. මමත් ගොඩ කාලෙකින් ප්‍රේක්ෂකයන් අතරට ගියේ නෑනෙ. මේ වගේ හොඳ නිර්මාණයකින් එන්න තියෙනවා නම් හොඳයි කියලා මටත් හිතුණා. මේ මගේ පළමුවැනි ටෙලි නාට්‍ය අත්දැකීම.
කුලුඳුල් ටෙලි අත්දැකීම කොහොමද දැනුණේ?
ගෞරවී කියන්නේ අභිලාෂිට වඩා වෙනස් කෙනෙක්. ටිකක් මෝඩ කෙල්ලෙක්. ඒත් ආදරයට ආදරේ කරන සහෝදරයන් තුන්දෙනකු මැද හුරතලේට හැදෙන ටිකක් මුරණ්ඩු කෙල්ලක්. ඒ නිසාම තමයි සූර්යාත් එක්ක පැනල යන්න හදන්නෙත්. ඒකත් මට අලුත් අත්දැකීමක් වුණා.
එතකොට අභිලාෂි කියන්නේ මොනවගේ චරිතයක්ද?
අභිලාෂි කියන්නෙ ඊට වඩා බුද්ධිමත් විදිහට හිතන කෙනෙක් කිව්වත් හරි. දැන් මගේ වයස අවුරුදු 20ක්. මගේ අම්මා තාත්තා මගේ ශක්තිය වෙලා මගේ ළඟම ඉන්නවා. ඒ නිසා මං ගෞරවී වගේ මෝඩ වැඩ කරන එකක් නෑ.
ඔබේ පළමු රංගන අත්දැකීම සුප්පා කුමරිය. කොහොමද ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ?
මගේ පාසල කෝට්ටේ ආනන්ද බාලිකාව. 4/5 වසරේ ඉඳන්ම මං ඉංග්‍රිසි වේදිකා නාට්‍යවලට හුරුවෙලා හිටියා. තරගවලට සහභාගී වුණා. හොඳම නිළිය වුණා. ඒත් එක්කම තමයි මට රංගනයට කැමැත්ත ඇතිවෙන්නේ. පස්සේ වේදිකාව ගැන තවදුරටත් හැදෑරුවා. නලින්ද ප්‍රේමරත්නගේ Act for ආයතනය තමයි මගේ මුල්ම රංගන අධ්‍යයන ආයතනය. ඔහු තමයි මට මේ ක්ෂේත්රයට එන්න පාර පෙන්නුවේ. එතැනදී හඳුනගන්න ලැබුණු බුද්ධි රන්දෙනිය මගේ මුල්ම ගුරුවරිය වුණා. ඇය හරහා මට සිංහබාහු සිනමාපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. සෝමරත්න දිසානායකයන් මෙහෙම චිත්‍රපටයක් කරනවා ඒකට ගෑනු ළමයෙක් හොයනවා කියලා මාව එතැනට යොමු කළේ ඇය.
අවුරුදු 17ක ළාබාල යුවතියකට සුප්පා කුමරිය අභියෝගයක් වුණේ නැද්ද?
මමත් හිතුවෙ නෑ මගේ පළමුවෙනි අත්දැකීම මේ තරම් අභියෝගාත්මක එකක් වේවි කියලා. බස් වහර වගේම මට චරිතයත් අභියෝගයක් වුණා. මට ඒ චරිතය අල්ලගන්න පහසු වුණේ සෝමරත්න සර්ගේ පුහුණුවීම් නිසා. මාසයක් තිස්සේ අපිට පුහුණුවීම් කළා. මුලින් බයක් තිබුණත් ලොකේෂන් එකට ගියාට පස්සේ මට තිබුණේ අර පුහුණු වුණු දේ කරන්න විතරයි. ලොකුම අභියෝගය වුණේ මුලදි කුමරියක් විදිහට ඉඳලා පසුව අම්ම කෙනෙක් විදිහට දරු සුරතල් බලන්නත් වුණා. සෝමරත්න සර් වගේම රේණු නැන්දා මට ගොඩක් උදවු කළා. ඔවුන්ගෙන් ලැබුණු ගුරුහරුකම් ගොඩක් එක්ක තමයි මං පසුතලයට ගියේ.
ගැබිනි කාලය වගේම දරුවකු සිටින මවක් විදිහටත් ඔබේ චරිතය ගලා ගියා. ළාබාල වියේදී මේ වගේ චරිතයක් කරද්දී චකිතයක් දැනුණේ නැද්ද?
කොහොමද මේක කරන්නෙ කියන එක මට තේරුමක් තිබුණෙ නෑ. මං ඒ දවස්වල මීටත් පොඩියි. මට දැනුණෙ නිකන් මගේ බඩේ සමනල්ලු පියාඹනවා වගේ හැඟීමක්. මේක මෙහෙමයි කරන්නෙ කියන එක අම්මෙක් තාත්තෙක් වගේ මට අවබෝධ කරල දුන්නෙ සෝමරත්න සර් වගේම රේණු නැන්දා. ඒත් එක්කම මං මගේ අම්මත් එක්කත් මේ ගැන වෙනම කතා කළා. මොකද අම්ම කෙනෙක් වෙනව කියන එක අපේ ඇතුළාන්තයෙන්ම දැනෙන්න ඕන දෙයක්. ඒ දේ මගේ ඇඟට දාගන්න කතාකරන්න හොඳම කෙනා මගේ අම්මා කියලයි මට හිතුනේ. මල්ලි හම්බවෙන්න හිටපු කාලේ ආයෙ ආයේ මතක් කර කර තමයි ඇත්තටම මං මගේ රඟපෑම හදාගත්තේ. ඒ වගේම ගැබිනි මවක් ඇවිදින විදිහ, හුස්ම ගන්න විදිහ පාඩමක් විදිහට ඉගෙන ගත්තා. එතැනදි විදුර අබේධීර අයියා හදල දුන්න කුස වගේම ඔහුගෙන් ලැබුණු උදවු නිසා චරිතය හොඳින් කරගන්න පුළුවන් වුණා.
නාමලී ගමගේ
උපුටා ගැනීම- සිළුමිණ