කොටුව 138 බස් එකේදී ඇපල් දී මංකොල්ල කන අලුත්ම බිහිසුනු ජාවාරම
සේවයේ ගමන් ගන්නා ඔබ සෑම විටම ගොඩක් විමසිලිමත්ව කටයුතු කරන එක වැදගත්.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් වෙනස් විදිහේ කතාවක්..
පොදු ප්‍රවාහන සේවයේ ගමන් ගන්නා මගීන් සමඟ මිතුරු වී නිද්‍රාශීලි ඖෂධ එන්නත් කර ඇති විෂ පලතුරු කෑමටදී මගීන්ගේ වටිනා භාණ්ඩ සොරා ගන්නා කල්ලියක් පිළිබඳ වාර්තා වෙනවා.. ඒ කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල සැරිසරන බවටයි..
ආසන්නම සිදුවීම ලෙස වාර්තා වන්නේ පසුගිය 21 වැනිදා පොලොන්නරුව ප්‍රදේශයේ සිට නුගේගොඩ දෙල්කඳ හංදියේ පිහිටි රාජ්‍ය ආයතනයකට පැමිණි 52 හැවිරිදි වියේ පමණ පසුවන පුද්ගලයකු මුහුණදුන් අනපේක්ෂිත සිද්ධියයි..
දෙල්කඳ හංදියේ පිහිටි කාර්යාලයකට රාජකාරි කටයුත්තක් සඳහා පැමිණි ඔහු ආපසු කොළඹ බලා යාමට මාර්ග අංක 138 බස් රථයකට ගොඩවී එක් මගියකු පමණක් සිටි අසුනක අනෙක් පස අසුනේ ඉඳගෙන මුදල් පසුම්බිය ගෙන කොළඹ පිටකොටුව දක්වා ටිකට්පතක්ද ගෙන ඇත. තමාට වම්පස අසුනේ සිටි මගියා ඇපල් ගෙඩියක් කමින් සිටි අයුරුද ඔහු දැක ඇති අතර ආගන්තුක මිත්‍රයා මිත්‍රශීලී සිනාවක් පාමින් ඇපල් කෑල්ලක් කමුදැයි අසමින් ඔහුට ඇපල් තීරුවක් දී ඔහු එය කන තෙක් ඔහු සමඟ විස්තර කතා කරමින් එකම අසුනේ ගමන් කර ඇත. මඳ වේලාවකට පසුව කොන්දොස්තර මහතා පිටකොටුව බහින්න යන ගෝරනාඩුව ඇසී තද නින්දක සිටි මගියා නින්දෙන් ඇහැරී පිටකොටුවෙන් බැස බලද්දී තමාගේ වටිනා ජංගම දුරකතනය සහ කලිසම් සාක්කුවේ තිබූ රුපියල් දොළොස්දහසකට වැඩි මුදල් සහිත මුදල් පසුම්බියද කලිසම් සාක්කුව සීරුවෙන් කපා පැහැරගෙන ඇති බව වටහාගෙන ඇත. ඉන් පසුව කල්පනා කළ ඔහුට සිදුවූ අකරතැබ්බය පිළිබඳව වැටහී ඇත. ආගන්තුකයා තමාට ඉතාම ළෙන්ගතුව පරිත්‍යාග කළ උග්‍ර විෂ සහිත ඇපල් කෑල්ල කෑ තමන් තද නින්දකට වැටුණු පසු ආගන්තුක මංකොල්ලකරු තමා හැඳ සිටි කලිසමේ සාක්කුව සීරුවෙන් කපා මුදල් පසුම්බිය සහ ජංගම දුරකතනය රැගෙන බසයෙන් බැස ගොස් ඇති බව සිහිපත් වී ඇත. ඒ මොහොත වන විට සැකකරු පලාගොස් බොහෝ වේලාවක් ගතව තිබූ බැවින් නීතියේ පිහිට නොපැතූ බව සිද්ධියට මුහුණදුන් පුද්ගලයා පසුදින නැවත දෙල්කඳ ප්‍රදේශයේ කාර්යාලය වෙත ගොස් තමන් මුහුණපෑ සිද්ධිය එහි නිලධාරීන්ට පවසා ඇත.
කෙසේ වෙතත්, අතරමඟදී මිතුරු වන ආගන්තුකයන් දෙන ආහාරපාන පලතුරු මෙන්ම කෙටි සහ පැණි රස ආහාර හා පැණිබීම කෑමට හෝ බීමට නොගන්නා ලෙස පොදු ප්‍රවාහන සේවයේ ගමන් කරන මගී ජනතාව සහ පාසල් දරුවන් දැනුම්වත් කරන්නැයි ගැටලුවට මුහුණපෑ පොලොන්නරුවේ සිට පැමිණි තැනැත්තා ඉල්ලීමක් ද කර තිබුණා..
එසේම පොලිසියට පැමිණිලි කර නොමැති මෙවැනි සිදුවීම් කිහිපයක් පසුගිය කාලයේ බස් සහ දුම්රිය මගීන්ගෙන් අසන්නට ලැබූ අතර පොලිසියේ විශේෂ අවධානය සිවිල් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවන ලෙසත් සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවමින් ගැටකපන්නන් අත්අඩංගුවට ගන්නා ලෙසත් මහජනතාව ආරක්ෂක අංශවලින් ඉල්ලීමක් කර සිටිනවා..
දිනමිණ පුවත්පත ඇසුරෙන්.