යෝෂිත – ඩේසි ආච්චි හුටපටයේ රටම හොල්ලන සාක්ෂියක් එළියට
රත්මලාන සිරිමල් උයන ප්‍රදේශයේ රුපියල් මිලියන 34ක වටිනා ඉඩමක් මිලදී ගැනීමට අදාළව මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සඳුදා ඇප මත නිදහස්වූ නඩු විභාගය අතරතුර ඔහුගේ පුද්ගලික කරුණු රැසක්ද අනාවරණය විය. ඔහු ජනවාරි 25 වන දින බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවේ ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර සදුදා කොළඹ අංක 4 අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා හමුවේ නඩුව නැවත කැඳවනු ලැබූ අවස්ථාවේ මෙම කරුණු හෙළි විය.
සඳුදා අධිකරණ වාර්තාව මෙසේය.
සැකකරු අත්අඩංගුවට ගැනීමේදී මාංචු දමා නොතිබුණද, බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය වෙත රැගෙන එන විට මාංචු සහිතව රැගෙන එන ලදී.
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පැවසුවේ සැකකරුට එරෙහිව පවතින මෙම නීති කෘත්‍යය තනි සිද්ධියක් නොවන බවත්, ඔහුට එරෙහිව මුදල් විශුද්ධිකරණය යටතේ තවත් නඩු කිහිපයක්ම පවතින බවත්ය.
විමර්ශන නිලධාරීන්ට අනාවරණය වී ඇති කරුණු අනුව, මෙම ප්‍රශ්නගත දේපළේ නාමික හිමිකාරිය වන්නේ සැකකරුගේ මීත්තණිය වන ඩේසි ෆොරෙස්ට් නම් කාන්තාවයි. කෙසේ වෙතත්, 1971 වසරේ රුපියල් 275ක මාසික වැටුපකට රෝහලක මුළුතැන්ගේ භාරකරු ලෙස සේවය කර ඇති ඇයට 2012 වසර වන තෙක් කිසිදු නිශ්චල දේපළක් අයිතිව නොතිබූ බව සොයාගෙන ඇත.
ප්‍රශ්නගත දේපළ ඔප්පුව මුලින්ම හමුවී ඇත්තේ පාලිත ගමගේ නැමැත්තෙකු භාරයේය. ඩේසි ෆොරෙස්ට් මහත්මියගේ ප්‍රකාශයට අනුව, මෙම දේපළ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 24ක මුදලක් ලබා දී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සම්බන්ධ පාලිත ගමගේ නැමැත්තෙකි. එහෙත් පාලිත ගමගේ මහතා එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ මාර්ග සංවර්ධන ටෙන්ඩරයක් ලබා ගැනීම සඳහා අල්ලසක් ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාර්යාලයේ සේවය කළ ‘චතුර’ නැමැත්තෙකුට රුපියල් මිලියන 12.5ක් ලබා දුන් බවයි.
සිද්ධියට අදාළ තවත් වැදගත් කරුණක් ලෙස, ගනුදෙනුව සිදුවූ කාලයේ යෝෂිත රාජපක්ෂ මහතා යසාරා අබේනායක නැමැති තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධතාවයක පසුවූ බව හෙළි වී තිබේ.
යසාරාගේ මාමා වන වසන්ත ජයසූරිය මහතා සාක්ෂි දෙමින් පවසා ඇත්තේ තමන් මෙම දේපළ මිලදී ගැනීමට සූදානම්ව සිටි නමුත්, යසාරා සහ යෝෂිත විවාහ වීමෙන් පසු ඔවුන්ට පදිංචිවීමට නිවසක් අවශ්‍ය බව පවසමින් යෝෂිත රාජපක්ෂ මහතා එම දේපළ තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවයි. වසන්ත ජයසූරිය තවදුරටත් සඳහන් කර ඇත්තේ ප්‍රශ්නගත දේපළේ ඔප්පුව ලබා ගැනීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතා ආරක්ෂක නිලධාරියෙකු මගින් රුපියල් මිලියන 34ක් එවූ බවයි.
සැකකරුගේ වත්කම් සම්බන්ධයෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා තවදුරටත් අනාවරණය කළේ, යෝෂිත රාජපක්ෂ මහතා 2007 වසරේ නාවික හමුදාවට බැඳී, පසුව ලුතිනන්වරයෙකු ලෙස උසස්වී 2016 වසරේ වැඩ තහනමට ලක්වන තෙක් එම තනතුරේ සේවය කළ බවයි. ඔහුගේ මාසික වැටුප රුපියල් 73,000ක් වූ අතර, අදාළ බැංකු ගිණුමෙන් කිසිදු අවස්ථාවක එම මුදල් ආපසු ගෙන නොමැති බව සොයාගෙන ඇත.
මීට අමතරව, ඩේසි ෆොරෙස්ට් මහත්මියගේ නමින් දෙහිවල ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 500කට මිලදී ගත් තවත් ඉඩමක් සම්බන්ධයෙන්ද නඩුවක් පවතින අතර, ගල්කිස්ස උසාවියේදී එම ඉඩම මැණික් මල්ලක් විකුණා මිලදී ගත් බව ප්‍රකාශ කර ඇත. CSN සමාගම සම්බන්ධ නඩුවේදී මෙම සැකකරුට එරෙහිව රුපියල් මිලියන 1,000ක් සහ රුපියල් මිලියන 34ක් මුදල් විශුද්ධිකරණය පිළිබඳ කරුණු හෙළිවී ඇත.
යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඇප අයදුමක් ඉදිරිපත් කළේය. නඩුවේ පළමු සැකකාරිය වන ඩේසි ෆොරෙස්ට් මහත්මිය 2016 වසරේදී අධිකරණයට කැඳවා ඇප මත මුදා හැර ඇති අතර,
නීතිපතිට නඩු ගොනුව යොමු කර ඇත්තේ 2017 වසරේදීය.
කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ, නඩුව දැනටමත් වසර අටකට වැඩි කාලයක් ක්‍රියාත්මක වී ඇති බැවින් විමර්ශන සඳහා සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැති බවයි. තවද, මුදල් විශුද්ධිකරණ පනත යටතේ නඩුවකදී පළමුව කළ යුත්තේ ප්‍රශ්නගත දේපළ තහනම් කිරීම වුවද, මෙතෙක් එවැන්නක් සිදුව නොමැති බවද පෙන්වා දුන්නේය.
ඒ අනුව, සැකකරු යෝෂිත රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළ අතර, ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමටද, සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙස අවවාද කිරීමටද නියෝග කරන ලදී.
නඩුව මැයි මස 16 වන දින යළි කැඳවීමට නියමිත බව අධිකරණය දැනුම් දුන්නේය.
Gossip lanka news