උතුරෙන් හමන සුළගින් ලංකාවේ නගර රැසකට අ නතුරු
උතුරු දෙසින් හමා එන දූෂිත සුළංවල බලපෑම නිසා ඉදිරි දින කීපයේදී මෙරට නගර රැසක වායු ගුණාත්මක තත්ත්වය පහත වැටෙනු ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල සඳහන් කරයි.
දිවයිනේ නගර රැසක වායු ගුණාත්මක තත්ත්වය ඊයේ (04 වැනිදා) දිනයේදී ද පහත වැටී තිබුණි.
කොළඹ, යාපනය, කුරුණෑගල, මහනුවර, කෑගල්ල, ගාල්ල, රත්නපුර, ඇඹිලිපිටිය, බදුල්ල, ත්‍රිකුණාමලය, මඩකලපුව, කළුතර, හම්බන්තොට සහ මොනරාගල යන නගරවල වායු ගුණ තත්ත්ව දර්ශකය ඊයේ (04 වැනිදා) පෙරවරුවේදී 101ත් 150ත් අතර අගයක පැවතුණි.
එය සුළු වශයෙන් අහිතකර තත්ත්වයක් බවද වාහන වායු විමෝචන භාරකාර අරමුදල සඳහන් කරන්නේය.
කෙසේ නමුත් පෙරේදා (03 වැනිදා) දිනයේදී දිවයිනේ බොහෝ නාගරික ප්‍රදේශවල වායුගුණ තත්ත්ව දර්ශකය (SL AQI) අගය මධ්‍යස්ථ මට්ටමක පැවැති අතර, නුවරඑළිය සහ කළුතර යන නගරවල යහපත් මට්ටමක් වාර්තා විය.
උතුරු දෙසින් හමා එන දූෂිත සුළංවල බලපෑම නිසා මෙලෙස ඉදිරි දින කීපයක් මෙරට වායු ගුණාත්මක තත්ත්වයේ වෙනස්කම් සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අධ්‍යයන සේවා අංශය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල කියයි.
මේ හේතුවෙන් සංවේදී පුද්ගලයන්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙසද එම ආයතන මහජනතාවගෙන් ඉල්ලා සිටී.
– අරුණ
