කජ්ජා ම රන්න ටී 56 උණ්ඩ 12ක් දුන්නා රටක් කම්පා කළ සිද්ධියේ අගමුල හෙළිවෙයි
යුද සමයේ ක්‍රියාන්විත සේවයේ සිටියදී උණ්ඩ ගෙනැත් ගෙදර සඟවාගෙන හිටියා
බැකෝ සරත්ගේ ටීම් එකත් එක්ක තියෙන හිතවත්කම හින්දා තමයි කජ්ජා වෙඩි තියලා මරලා දාන්න ටී 56 ජීව උණ්ඩ දුන්නේ යැයි අත්අඩංගුවට ගත් වීරකැටිය පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි 36 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර ඇත.
සැකකාර පොලිස් කොස්තාපල්වරයාට බැකෝ සරත්ගේ පාතාල කල්ලිය විසින් කාලයක සිට වරින්වර මුදල් ඇතුළු තවත් වරදාන වරප්‍රසාද ලබාදී ඇති බව ද පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබේ.
ඉකුත් පෙබරවාරි 18 වැනිදා මිද්දෙණිය ප්‍රදේශයේදී යතුරුපැදියක යමින් සිටි පියකු සහ ඔහුගේ දරුවන් දෙදෙනාව සාහසික අන්දමින් වෙඩි තබා ඝාතනය කිරීම සඳහා ටී 56 ජීව උණ්ඩ 12ක් පාතාල කුලී ඝාතකයන් වෙත ලබාදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වීරකැටිය පොලිසියේ කොස්තාපල්වරයා මෙසේ ප්‍රකාශ කර ඇත.
සැකකාර කොස්තාපල්වරයා ජුලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ උතුරු නැඟෙනහිර යුද්ධය පැවැති සමයේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී මෙම ටී 56 ජීව උණ්ඩ හොර රහසේ රැගෙනැවිත් සිය නිවසේ සඟවා තැබූ බවය.
අරුණ විදානගමගේ හෙවත් කජ්ජා ඝාතනය කිරීම සඳහා ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින බැකෝ සරත් නමැත්තා විසින් කළ ඉල්ලීමකට අනුව තමන් මෙම ජීව උණ්ඩ තොගය එම පාතාල කල්ලියේ සාමාජිකයකු වෙත ලබාදුන් බව ද සැකකරු ප්‍රකාශ කර ඇත.
මෙම ත්‍රිත්ව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 07 දෙනකු අත්අඩංගුවට ගෙන සිටින බව පොලිසිය පවසයි. මෙම ත්‍රිත්ව ඝාතනය මෙහෙයවා ඇත්තේ හරක් කටාගේ පාතාල කල්ලියේ දෙවන පෙළ පාර්ශ්වයට නායකත්වය දෙන ඩුබායිහි සැඟවී සිටින බැකෝ සරත් නැමැත්තා විසිනි.
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිසියට ඔත්තු ලබාදීමට ගංජා තොගයක් ලබාගෙන ඒ වෙනුවෙන් මුදල් දීම ප්‍රතික්ෂේප කිරීම කජ්ජා ඝාතනයට මූලික හේතු වී තිබූ බව ද පොලිසිය මෙතෙක් කළ විමර්ශනවලින් හෙළි වී තිබිණි.
මිනීමැරුම් සම්බන්ධයෙන් වැරදිකරු වී මරණ දඬුවම ලබා සිටින ජුලම්පිටියේ අමරේ නමැති මැරයා පදිංචිව සිටි ජුලම්පිටිය ග්‍රාමයේ පදිංචිකරුවකු වන සැකකාර පොලිස් කොස්තාපල්වරයා මෙම මැරයා සමග ද සබඳතා පැවැත්වූවා දැයි විමර්ශන නිලධාරීහු සොයා බලාගෙන යති.
ඉකුත් 18 වැනිදා රාත්‍රි සිය සය හැවිරිදි දියණිය සහ නව හැවිරිදි පුත්‍රයා සමග යතුරුපැදියක යමින් සිටියදී ඔවුන් ලුහුබැඳ පැමිණි පාතාල කුලී ඝාතකයන් දෙදෙනකු කජ්ජා නැමැත්තාට සහ දරුවන්ට වෙඩි තබා පලාගොස් තිබිණි.
ප්‍රහාරයෙන් කජ්ජා සහ ඔහුගේ දියණිය සිද්ධිය වූ ස්ථානයේම මියගිය අතර පුත්‍රයා මරුමුවට පත්වූයේ රෝහල්ගත කිරීමෙන් පසුවය.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, මාතර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා යන මහත්වරුන්ගේ උපදෙස් මත විමර්ශන පැවැත්වෙති.
හේමන්ත රන්දුණු
divaina