ඔත්තුවෙන් අහු උනු මහා පරිමාණ කසල තේ ජාවාරම
– කසළ තේ කිලෝ දහදාහක් පෝර උරවලට පටවලා
– බුලත්සිංහල දෙහිකඩේ හන්දියේ පාළු ඉඩමක කසළ තේ ජාවාරමක්
– ගබඩාව වටලන්නේ එස් ටී එෆ් එකෙන්
– ඇල්ලූ සැකකරුගෙන් සියලු තොරතුරු හෙළිවෙයි
ඕනෑම අයකු තමන්ගේ දෛනික අවශ්‍යතා අතුරින් මුල් තැන ලබා දෙන්නේ ආහාරවලටය. හැමදෙනාම පාහේ මේ පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන අතර ඉතා පිරිසිදුවටත් ප්‍රණීතවත් නැවුම් පිරිසුදු ආහාරපාන ලබාගැනීමට හැමදෙනාම නිරන්තරයෙන් උනන්දු වන්නේ තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන ද සලකමිනි.
එහෙත් බොහෝ විට සෞඛ්‍යයට අහිතකර අන්දමින් ආහාරපාන අලෙවි කිරීමට සමහර පුද්ගලයින් කටයුතු කරන්නේ එයින් ලැබෙන විශාල මුදල් කන්දරාව නිසාය.
මේ අන්දමට මිනිස් පරිභෝජනයට නුසුදුසු එමෙන්ම කර්මාන්තශාලාවලින් ඉවත් කරන කසළ තේ එක්රැස්කර තිබූ ගබඩාවක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධරයනට හැකිවූයේ පසුගියදාය. ඒ බුලත්සිංහල ප්‍රදේශයෙනි.
එම ප්‍රදේශයේ මහා පරිමාණ කසළ තේ ගබඩාවක් තිබෙන බවට විශේෂ කාර්ය බළකා හොරණ කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ආර්.එන්.ටී. ආචාරිගේට පසුගියදා තොරතුරක් ලැබෙන්නේ විශ්වාසවන්ත ඔත්තුකරුවකු මාර්ගයෙනි.
“සර්ට දෙන්න හොඳ ඉන්ෆොමේෂන් එකක් තියෙනවා බුලත්සිංහල පැත්තේ. හැබැයි මේක කෙරෙන්නේ හුඟක් රහසිගතවයි. පොඩ්ඩක් ‘ටච්’ එකේ හිටියොත් මේ හොර ජාවාරම අතේ මාට්ටු කරගන්න පුළුවන්.”
මේ පිළිබඳ ආවේක්ෂණ රාජකාරියේ යෙදුණු නිලධාරීන් තහවුරු කරගත්තේ තොරතුර නිවැරදි බවය. මේ නිසා ඉහළ නිලධාරීන්ගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ වැටලීම සිදු කිරීමට කටයුතු කළේ හැකි ඉක්මනින් සැකකරුවන් කොටු කරගැනීම සඳහාය.
මේ කියන ස්ථානයට ළඟාවීමට බුලත්සිංහල, ඈගල්ඔය පාරේ ගොස් හොරණ පාරේ මීටර් 800 පමණ දකුණු පැත්තට ගමන් කළ යුතුය. එම ප්‍රදේශය හැඳින්වූයේ ‘දෙහිකඩේ හන්දිය’ ලෙසය.
මේ කියන ස්ථානය විශාල හිස් ඉඩමකි. තාප්පවලින් ආවරණය කර ඇති නිසා අවට සිටින කෙනෙකුට කිසිවක් දැකගැනීමට ඉඩක් ලැබෙන්නේ ද නැත. තරමක පාළු ස්වභාවයක් ඉසිලූ මෙම ප්‍රදේශයේ හොර ජාවාරම කාලයක සිට කරගෙන ගොස් ඇති බවට සැක කළ හැකිය.
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කල්යල් බලා එම ස්ථානයට ළඟා වූයේ අලුයම් කාලයේදීය. කාලයක් තිස්සේ අත්හැර දමා තිබී ඇති මෙම ඉඩම විශාල වශයෙන් වල්බිහි වී කැලයෙන් යට වී තිබීම නිසා ජාවාරම්කරුවන්ට ලැබී ඇති වාසිය කියා නිම කළ නොහැකිය. විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම ස්ථානය වටලන අවස්ථාවේදී එහි ගොඩ ගසා තිබූ කසළ තේ ගෝනි ගොඩ මත එක් පුද්ගලයකු වාඩිවී සිටි අතර ඔහු සිටියේ මෙම කසළ තේ තොගය පටවාගෙන යාම සඳහා වාහනයක් පැමිණෙන තෙක් බව නිලධාරීන්ට අවබෝධ විය. කෙසේ හෝ එහි සිටි කිහිපදෙනෙක් මෙම වැටලීම සිදුවන බව දැනගෙන පිටුපස තාප්පයෙන් පැන පලා ගොස් ඇති බව ද මෙහිදී හෙළි විය. කෙසේ වුවත් එහි සිටි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කටයුතු කරන ලදි.
එම පුද්ගලයා කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි තිස්පස් හැවිරිදි අයකු බව මෙහිදී අනාවරණය කර ගැනීමට හැකි විය.
දකුණු පළාත ඇතුළු විවිධ පළාත්වල කර්මාන්තශාලාවලින් ඉවත් කරන ‘කසළ තේ’ මහා පරිමාණයෙන් රැගෙනවිත් මෙම ස්ථානයේ ගබඩාකර කොළඹට රැගෙන යන්නේ ඒවා නැවත මිනිස් පරිභෝජනයට ලබාදීම සඳහාය.
විශේෂ කාර්ය බළකා නිලධාරීන් මෙම ස්ථානය වටලන අවස්ථාවේ මෙම ගබඩාවේ කසළ තේ කිලෝ දහදාස් තුන්සිය හැටක් පමණ තිබූ අතර ඒවා පෝර උර 269කට පුරවා තිබුණේ එක් උරයක කිලෝ තිස්පහ බැගින් වන ලෙසය.
කාලයක් තිස්සේ සිදුකර තිබෙන මෙම මහා පරිමාණ නීති විරෝධී ව්‍යාපාරයෙන් ජාවාරම්කරුවන් මුදල් ඉපයීමට කටයුතුකර ඇත්තේ මිනිස් ජීවිතවල වටිනාකම තුට්ටුවකට හෝ නොසලකමිනි.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා සිටියේ මේ පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බවත් මෙම ස්ථානයට පැමිණ මෙම පොහොර උර තොගය කොළඹට රැගෙන යන ලෙස පුද්ගලයෙකු විසින් ඔහුට පැවසූ බවය. ඔහුට ලැබෙන කුලී මුදල ගැන සලකා ඔහු මෙම ස්ථානයට පැමිණ සිටියද මෙහි ප්‍රධානියා සොයා විමර්ශන සිදුකිරීමට විශේෂ කාර්ය බළකා නිලධාරින් කටයුතු කරන්නේ රටපුරාම මෙවැනි කසල තේ මිනිස් පරිභෝජනයට එකතු කිරීමට ජාවාරම්කරුවන් කටයුතු කරන බැවිනි. එලෙස අත්අඩංගුවට ගත් කසළ තේ තොගය සමඟ සැකකරු බුලත්සිංහල පොලිසියට භාර දීමට පියවරගෙන ඇත්තේ ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහාය.
විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගේ උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරි සහකාර පොලිස් අධිකාරී ගජවීරගේ අධීක්ෂණයෙන් ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී කුලතුංගගේ මෙහෙයවීමෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය හොරණ කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ආර්.එන්.ටී. ආචාරිගේ, පොලිස් පරීක්ෂක ලක්ෂිත, පොලිස් පරීක්ෂක අබේරත්න, කොස්තාපල් 90644 ඉසුරු, 86854 කුමාර, 30877 දේශප්‍රිය යන නිලධාරීහු මේ පිළිබඳ විමර්ශන සිදු කළහ.
විනීතා මානෙල් ගමගේ – හල්තොට සමූහ
උපුටා ගැනීම- සිළුමිණ