පොලිසියේ පලපුරුද්දෙන් හසුවුනු හොර සල්ලි ජාවාරම
යම් කිසි වරදක් සිදුකළ පුද්ගලයෙකු නීතියේ රැහැනට හසුවී දඬුවම් ලැබූ පසුව සිදුකළ යුත්තේ එම වරදින් මිදී යහපත් මිනිසෙකු ලෙස සමාජගත වී ආදර්ශවත්ව ජීවත්වීම වුවද යළි යළිත් එම වරදම සිදු කරන්නේ නම් ඔහු කෙබඳු පුද්ගලයෙකු දැයි සිතාගැනීම අසීරුය. එගොඩ උයන පොලිසියේ නිලධාරීන්ට ද එවැනි පුද්ගලයකු පසුගියදා හමු වූයේ දෙවැනි වරටය. මෙම පුද්ගලයා පොලිස් නිලධාරින් අතට හසුවූ අයුරු ද අපූරුය.
එදින එගොඩඋයන පොලිසියේ නිලධාරීන් මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටියේ මෝදර වට රවුම ප්රදේශයේය. මාර්ගයේ ගමන් කරන රථවාහන සහ පුද්ගලයන් පිළිබඳ දැඩි සෝදිසියෙන් සිටින නිලධාරීන් දුටුවේ පාණදුර ප්‍රදේශයේ සිට ඇල්ටෝ වර්ගයේ රතු පැහැති මෝටර් රථයක් ඉදිරියට පැමිණෙමින් තිබෙන බවය. එහෙත් එය පැමිණියේ මාර්ගයේ දකුණු දෙසට බර වෙන්නටය. මේ නිසා සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් වාහනය නතර කරන ලෙස සංඥා කළේය.
මෝටර් රථයේ රියදුරු දුටු විගසම එගොඩඋයන පොලිසියේ පොලිස් කොස්තාපල් 17072 ඩයස් නිලධාරියාට අමුත්තක් දැනුණේ මෙම පුද්ගලයා මීට පෙර දැක හුරුපුරුදු කෙනෙකු වන බැවිනි.
“සර්…සර්… මේ අර සල්ලි අච්චු ගහපු හාදයනේ. මෙයාව මීට කලින් අපි ඇරස්ට් කළා.”
අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ.එස්. වික්‍රමසූරිය වෙත ළංවූ පොලිස් කොස්තාපල්වරයා එලෙස පවසා සිටියේ මේ පුද්ගලයාගේ ‘පැටිකිරිය’ දිග හරින අතරය. උප පොලිස් පරීක්ෂකවරයා මෙම පුද්ගලයා වඩාත් හොඳින් පරීක්ෂා කිරීමට පෙළඹුණේ එම තොරතුරු සැලකිල්ලට ගන්නා අතරමය.
ඔහුගේ කලිසම් සාක්කුවේ තිබී පන්දාහේ මුදල් නෝට්ටු දෙකක් හමු වූයේ එවිටය. මෙම මුදල් නෝට්ටු දෙකේම සටහන්ව තිබුණේ එකම අංකය වීම තවදුරටත් සැකය තහවුරු කරන හේතුවක් වී තිබිණි. ඒවා ව්‍යාජ පන්දාහේ මුදල් නෝට්ටු බව තහවුරු වූයේ එලෙසය. මෙම පුද්ගලයා අත්අඩංගුවට පත්වන්නේ ඒ අනුවය.
එගොඩඋයන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාසකෝරාල උසස් නිලධාරීන්ගේ උපදෙස් අනුව මෙම පුද්ගලයාගේ නිවෙස පරික්ෂා කිරීමට උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් පිටත්කර හැරියේ තවදුරටත් විමර්ශන කටයුතු සිදු කිරීම සඳහාය.
මොහු පදිංචිව සිටියේ වාද්දුව, මැද පන්සල පාර ප්රදේශයේය. වටේටම තාප්පවලින් වටකර තිබූ නිවෙස හුදෙකලා එකකි. අසල්වැසි කිසිවකුත් සමඟ වැඩිපුර ගනුදෙනුවක් නොකළ මෙම පවුල ඉදිරිපස ගේට්ටුවට ද අගුළුලාගෙන සිටියේ ගෙතුළ සිදුවන කිසිවක් කිසිවකුටත් දැනගැනීමට ඉඩ නොතබමිනි.
පොලිස් නිලධාරීන් නිවෙසට ඇතුළු වන විට දුටුවේ ඉදිරිපස කාමරය ද ඉබි යතුරු දමා වසා ඇති බවය.
“මොකද මේ කාමරේ ලොක් කරලා. අරිනවා බලන්න මේක.”
එහි යතුර තිබුණේ ද මෙම පුද්ගලයා සතුවය. ඔහු එයට කිසිවකුටත් ඇතුළුවීමට නොහැකි වන ලෙස යතුරු දමා එය තමන් සතුව සඟවාගෙන සිටියේ එහි ඇති රහස වසන් කිරීම සඳහාය. එම කාමරයේ ද එක පැත්තක් මුද්‍රණය කරන ලද පන්දාහේ නෝට්ටු දෙකක් තිබී හමු වූයේ නැවතත් මොහු තමාටම ‘හුරුපුරුදු’ රාජකාරිය ආරම්භ කර ඇති බව සනාථ කරමිනි. එම අංකයම සහිත තීන්ත බොඳ වූ එක පැත්තක් මුද්‍රණය කරන ලද තවත් නෝට්ටුවක් ද වෙනත් අංකයක් සහිත පන්දාහේ නෝට්ටුවක් වශයෙන් නෝට්ටු තුනක් මෙහිදී සොයා ගැනීමට හැකි වී තිබිණි.
මීට අමතරව මෙම නෝට්ටුවල දිය සලකුණ හෙවත් හරහට ඇති රිදී පාට සලකුණ සටහන් කිරීමට උපයෝගී කරගන්නා පතොරම සහිත නෝට්ටු තුනක් ද එම කාමරයේ තිබී පොලිසිය විසින් සොයා ගැනීමට කටයුතු කළේ මොහුගේ වංචාව නැවතත් ලොව හමුවේ තැබීමට අවස්ථාව උදාකර ගන්නා අතරය.
කැනොන් වර්ගයේ ප්‍රින්ටරයක් සහ ස්ප්‍රේ පේන්ට් බෝතල් තුනක්ද එම කාමරයේ තිබුණි. මීට පෙර ද මොහු පොලිසියට කොටු වූවේ එගොඩඋයන වට රවුමේ බස් නැවතුමේ රැඳී සිට පොලිස් නිලධාරින් දුටු විට බය වී ඉරියව් වෙනස් කළ නිසාය. එම අවස්ථාවේ ද ඔහු සතුව ව්‍යාජ පන්දාහේ මුදල් නෝට්ටු තිබූ අතර සම්පූර්ණයෙන් මුද්‍රණය කරන ලද පන්දාහේ මුදල් නෝට්ටු හතළිහක් සමඟ අත්අඩංගුවට පත්ව එගොඩඋයන පොලිසිය මඟින් නඩු පවරා මොරටුව අධිකරණයෙන් ඇප ලබා පැමිණ තවම ගතවී තිබුණේ සති තුනක පමණ කාලයක් වීමද විශේෂය.
ඔහු මෙලෙස මුදල් අච්චු ගසමින් වෙළෙඳසැල්වලින් භාණ්ඩ ලබාගෙන හොර නෝට්ටු මාරු කරගන්නේ කිසිවකුටත් සැක නොසිතෙන ආකාරයෙනි. කුලී පදනම මත ලබාගත් එම මෝටර් රථයෙන් එදින ඔහු ගමන්කර ඇත්තේ ද හොර නෝට්ටු මාරු කරගැනීම සඳහාය.
රියදුරෙකු ලෙස කටයුතු කරන 43 හැවිරිදි තිදරු පියකු වන මෙම පුද්ගලයාට නැවතත් සිදු වූයේ එකම වරද සඳහා දඬුවම් විඳීමටය. මෙහිදී අනාවරණය වූයේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පමණ සිට මොහු මෙම වැරදි ක්රියාවේ නියැළී ඇති බවය.
ව්‍යාජ පන්දාහේ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම, පරිහරණය කිරීම සහ උපකරණ ළඟ තබා ගැනීම යන චෝදනා යටතේ එගොඩඋයන පොලිසිය මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළේ නැවතත් මෙවැනි වැරදි සිදු නොකරන ලෙස තරයේ අවවාද කරමිනි.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියේ ප්‍රසන්න බ්‍රාහ්මණගේ ගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී මොරටුව ඩබ්ලිව්. ටී. අනුරංගගේ අධීක්ෂණයෙන් එගොඩඋයන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාසකෝරාලගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ. එස්. වික්‍රමසූරිය, කොස්තාපල්වරුන් වන (94383) චන්දික, (102110) එවන්ත, (17073) ඩයස් යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
විනීතා මානෙල් ගමගේ – හල්තොට සමූහ
උපුටා ගැනීම- සිළුමිණ