තෑගි දෙන මුවාවෙන් මහියංගනේ පෙරපාසල් සිසුන්ගේ පංචායුධ වලට විද්ද අඹුසැමියෝ
තමන්ගේ දූ දරුවන් යොදාගෙන සොරකම්, කොල්ලකෑම් සිදුකරන අම්මලා තාත්තලා ගැන තොරතුරු රැසක් ජනමාධ්‍ය මඟින් පසුගියදා හෙළිදරව් කර තිබිණි. තම 14 හැවිරිදි දියණිය අන්තර්ජාලය ඔස්සේ සලෙළුන්ට අලෙවි කළ මවක පිළිබඳ පුවතක් සමාජයම කලඹන්නට සමත් වූයේ පසුගියදාය. මේ දැරිය සමඟ අඹුසැමි ඇසුර පැවැත්වූ විවිධ තරාතිරම්වල පුද්ගලයන් රැසකට විරුද්ධව නඩු පැවරිණි. පුංචි දරුවකුගේ අතක් කඩා එය වෙළුම් පටිවලින් වෙලා මිනිසුන්ට පෙන්වමින් සිඟමන් යැදි මත්ලෝලී පියකු ගැන ද පසුගියදා තොරතුරු වාර්තා වූයේ කොළඹ ප්‍රදේශයෙනි. 15 හැවිරිදි දියණිය මඟින් පෙම්වතුන් ‘දඩයම්’ කරවන මවක බණ්ඩාරගමදී අත්අඩංගුවට ගැනෙන්නේ පසුගියදාය.
තම සිවු හැවිරිදි දියණිය සමඟ ‘අපරාධ චාරිකාවක’ නිරතවූ තරුණ මවක සහ පියකු පිළිබඳ පුවතක් පසුගියදා වාර්තා වූයේ හසලක සහ මහියංගණය පොලිස් ස්ථානවල නිලධාරීන් සිදු කළ විමර්ශනවලදීය.
මේ කතාව පෙළගැසෙන්නේ මෙසේය.
මහියංගණය සහ රිදීමාලියද්ද ප්‍රදේශවල පෙර පාසල්වලට තම සිවු හැවිරිදි දියණිය සමඟ ගොස් එහි පාලිකාවන් සමඟ සුහදව කතාබස් කර, තමන් ව්‍යාපාරික යුවළක් බවට හඳුන්වාදී දියණියගේ උපන්දිනය වෙනුවෙන් අදාළ පෙර පාසල්වල ළමුන්ට මසා නිම කළ ක්‍රීඩා ඇඳුමක් සහ සපත්තු ලබා දෙන බව කියමින් ඒ සඳහා එම දරුවන්ගේ ඇඳුම්වලට අවශ්‍ය මිම්ම ලබාගෙන යන යුවළක් පිළිබඳව එම ප්‍රදේශවල පදිංචිකරුවන් අතර පසුගිය දිනවල ලොකු කතාබහක් ඇති විය.
ඊට ප්‍රධාන හේතුව වූයේ එසේ පැමිණෙන යුවළ දරුවන්ගේ ඇඳුම්වල මිම්ම රැගෙන ගියාට පසු ඇතැම් දරුවන්ගේ ගෙල බැඳි පංචායුධ අතුරුදන්ව තිබීමයි.
මේ නිසා මේ යුවළ සොර කල්ලියක් බව හඳුනාගන්නට රිදීමාලියද්ද සහ මහියංගණයේ සමහර පෙර පාසල් පාලිකාවන්ටත් මවුපියන්ටත් හැකිවූ අතර ඒ පිළිබඳ මහියංගනය පොලිසියට ද පැමිණිල්ලක් ලැබී තිබිණි.
මේ යුවළ ඉතා සංවිධානාත්මකව සිදුකරන මේ සොරකමට යොදාගෙන තිබුණේ මහියංගණය සහ රිදීමාලියද්දේ දරිද්‍රතාවයෙන් පෙළෙන ගම්වල පදිංචිකරුවන්ගේ දූ දරුවන් යන පෙර පාසල් බවට බැලූබැල්මට පෙනෙන්නට තිබුණු අතර යුවළ ඉතා සූක්ෂ්මව මේ සොරකම සිදුකරගෙන යන බව ද හෙළි විය.
අදාළ වංචනික ක්‍රියාව සිදුකරන යුවළ සම්බන්ධව ඒ වනවිට ද මහියංගණය සහ රිදීමාලියද්ද ප්‍රදේශවල පෙර පාසල්වල පාලිකාවන් සහ ගුරු දෙගුරුන් වට්ස්ඇප් සමූහ ඔස්සේ දැනුම්වත් කර තිබුණි. මේ අතර හසලක පොලිස්බල ප්‍රදේශයේ පෙර පාසල් කිහිපයකට මේ යුවළ පැමිණෙන්නේ පසුගියදාය. ඒ ත්‍රිරෝද රථයකිනි.
එසේ පැමිණි යුවළ හසලක 04 ඇළ ප්‍රදේශයේ පෙර පාසලකට ගොස් තමන් ව්‍යාපාරිකයන් බව හඟවා ළඟදීම මහියංගණය නගරයේ මැණික් අලෙවි මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ද තමන් කටයුතු කර ඇති බව කියමින් වැඩිදුරටත් පවසන්නේ තමන්ගේ සිවු හැවිරිදි දියණියගේ උපන්දිනය වෙනුවෙන් අදාළ පෙර පාසලේ ළමුන් සියලු දෙනාටම ක්‍රීඩා ඇඳුම් සහ සපත්තු ලබාදීමට කැමැති නිසා ඒ සඳහා දරුවන්ගේ ඇඳුම්වල මිම්ම ලබා ගැනීමට ඉඩ දෙන ලෙසය.
මේ අවස්ථාවේ එම පෙර පාසලට ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියකු පැමිණ සිට ඇත්තේ අදාළ පෙර පාසලේ දරුදැරියන්ගේ සමූහ ඡායාරූපයක් ගැනීම සඳහාය. ප්‍රාදේශීය මාධ්‍යවේදියා දුටු ‘කපටි යුවළ’ ඔවුන්ගේ කටයුත්ත පසුවට කල් තබා ඇතත් එම යුවළ ගැන සැක කළ ඔහු, ඔවුන් උපක්රමශීලීව හඳුනාගෙන ඔවුන් සමඟ සුහදව කතාබහ කර මේ ගැන පාලිකාවට ද පවසා තිබේ. අනතුරුව මේ යුවළ ළමුන්ගේ ඇඳුම්වල මිම්ම ගනිද්දී ප්‍රාදේශීය මාධ්‍යවේදියා ඔවුන්ට නොදැනෙන සේ ඡායාරූපගත කර ප්‍රදේශයේ සියලුම පෙර පාසල්වල වට්ස්ඇප් සමූහ වෙත යවා තිබේ. මේ අනුව වංචනික යුවළ හඳුනාගත් මවුපියන් ඒ පිළිබඳව හසලක පොලිසියට කළ පැමිණිල්ලකින් අනතුරුව යුවළ අත්අඩංගුවට ගෙන ඇත.
මේ වංචනික යුවළ මෙසේ එක් පෙර පාසලක එක් දරුවකුගෙන් පංචායුධයක් බැගින් සොරකම් කර ඇති බව හෙළිවී ඇත. මවුපියන් සිතා ඇත්තේ දරුවා පංචායුධය කොහේ හෝ දමාගෙන ඇති බවය. සාමාන්‍යයෙන් කුඩා පංචායුධයක් රුපියල් 15,000ක් පමණ වේ.
එසේ අත්අඩංගුවට ගන්නා ලද සැකකරු සහ සැකකාරිය මහියංගණය 45 ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හෙළි වී ඇත. සැමියාගේ පදිංචිය දියතලාව ප්රදේශයේය. බිරිය කඳාන ප්‍රදේශයේ පදිංචිකාරියකි. සැමියා විදුලි කාර්මිකයකු ලෙස රැකියාව සිදුකර ඇති අතර ඔවුන් ප්‍රදේශවාසීන්ට ද බොරු කියමින් ඔවුන්ගේ රන් ආභරණ විටින්විට සොරකම් කර ඇති බව හෙළි වී තිබේ.
සැකකරු සහ සැකකාරිය සන්තකයේ තිබියදී පංචායුධ කිහිපයක් සොයාගෙන ඇති අතර මහියංගණය නගරයේ උකස්හලකට උකස් කර තිබියදී තවත් පංචායුධ සොයාගෙන තිබේ. සැකකරු සහ සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා මහියංගණය පොලිසියට භාර දී තිබේ.
හසලක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එස්.අයි. දිසානායකගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පරීක්ෂක ඒ.ඩබ්ලිව්. රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.
දීපාල් සමරසේකර
ඡායාරූපය – මහියංගණය රංජිත් කරුණාවීර
උපුටාගැනීම: සිළුමිණ