සාස්තර කියන මුවාවෙන් කරන අලුත්ම ජාවාරම
මහේෂ්වරී සහ ඇගේ සැමියා සෙන්දිල් මන්නාරම නානාට්ටන් ප්‍රදේශයේ පදිංචිකරුවෝය. මහේෂ්වරීටත් ඇගේ ස්වාමියා වූ සෙන්දිල්ටත් ජීවත්වීමට කිසිම අසීරුතාවක් නොවූයේ ඔවුන් රජයේ ස්ථිර රැකියාවල නිරත වීමත් වත්තෙන් පිටියෙන් සහ කුඹුරුවලින් සෑහෙන ආදායමක් ලැබීමත් නිසාය. මන්නාරමේ නානාට්ටන් ප්‍රාදේශීය ලේක්ම් කොට්ඨාස බල ප්‍රදේශයේ නරුවිලිකුලම් ගම්මානයේ ඔවුන් ජීවත් වූහ. දරුවන් දෙදෙනෙකුගේ මව්පියන් වූ මේ අඹුසැමියෝ එසේ කලදවස ගත කරමින් සිටියදී නරුවිලි ගම්මානයට නරුම කාන්තාවක් හදිසියේම කඩා වැටෙන්නේ පසුගියදාය.
ඇගේ ජීවන වෘත්තීය ශාස්ත්‍ර කීම බව ඇය විසින්ම කියා තිබුණත් අවසානයේදී බලන විට හෙළි වන්නේ ඇය වංචාකාරියක බවයි.
වයස අවුරුදු දොළහක පමණ කුඩා කොලු ගැටයෙකු ද අතින් අල්ලාගෙන මේ කාන්තාව නරුවිලිකුලම් ගම්මානයේ ගෙයක් ගෙයක් පාසා ගියේ ශාස්ත්‍ර කීමටය. ඇතැම් නිවෙස්වලදී ඇය හඳුන්වා ඇත්තේ කෝවිලේ බාරයකට දානයක් දීම සඳහා මුදල් සම්මාදන් කරන බවකි.
අවසානයේදී සෙන්දිල්ගේ නිවසට පැමිණි මේ කාන්තාව කියා සිටියේ ඇය ශාස්ත්‍ර කීම පිණිස එම නිවසට පැමිණි බවයි.
නිවසේ සිටි අඹුසැමියන්ට ශාස්ත්‍රයක් ඇසීමට කිසිම වුවමනාවක් නොතිබුණත් කාන්තාවගේ තොරතෝංචියක් නොමැති වූ කියවිල්ල නිසා මහේෂ්වරී ශාස්ත්රකාරියට අත පෑවාය. සෙන්දිල් සිනාමුසු මුහුණින් බිරිය දෙස බලා සිටියේය.
ශාස්ත්රකාරිය ප්‍රකාශ කළේ මේ පවුලට තවත් බොහෝ දේ ලැබීමට නියමිතව ඇතත් විශාල අපලයක් නිසා ඒවා නොලැබී ගොස් ඇති බවයි. එම අපලවලට යම් පිළියමක් තමන්ට සලසා දීමට හැකි නිසා පිරිසිදු වතුර වීදුරුවක් රැගෙන එන ලෙස ශාස්ත්රකාරිය මහේෂ්වරීට ප්‍රකාශ කළාය.
කාන්තාව ශාස්ත්රකාරියට වතුර වීදුරුවක් ගෙනැවිත් දුන් පසුව ඊට මතුරා නිවසේ සිටි කාන්තාවට හා ස්වාමියාට එම වතුර පානය කිරීමට ලබාදී තිබේ.
සවස් කාලයේදී ආපසු ඔවුන්ට පියවි සිහිය ලැබී නිවස පරීක්ෂාකොට බලන විට නිවසේ තිබූ රුපියල් ලක්ෂ විසිතුනක ස්වර්ණාභරණ, රුපියල් 16000ක මුදලක්, ජංගම දුරකතන තුනක් ඇතුළු භාණ්ඩ රැසක් අතුරුදන් වී ඇති බව දැකගන්නට ලැබී තිබේ.
අවට නිවෙස්වල උදවියගෙන් උදව් ඉල්ලාගෙන අඹුසැමි යුවළ මුලින්ම වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගෙන පසුව මේ පිළිබඳව මුරුන්කන් පොලිසියට පැමිණිලිකොට ඇත.
පොලිසිය ඔවුන්ගේ පැමිණිල්ලට අනුව පරීක්ෂණ ආරම්භකොට ඇති අතර එහිදී නානාට්ටන් ප්‍රදේශයේ නිවසක සවිකොට තිබූ සීසීටීවී කැමරාවක කාන්තාවක් සහ කුඩා පිරිමි දරුවකු පාරේ ගමන් කරන ආකාරය සටහන් වී තිබී ඇත.
දැන් නානාට්ට්ටන් පොලිසිය සීසීටීවී කැමරාවල සටහන් වූ දර්ශන පෙළ බලමින් බොරු ශාස්ත්රකාරිය සොයා මෙහෙයුමක් දියත් කොට තිබේ.
රසුල දිල්හාර ගමගේ