ලොකු ලූනු සහ අර්තාපල් සඳ අල්ලන්න ආස ගමනේ
ඇතැම් ප්‍රදේශවල ලොකු ලූනු කිලෝවක හා අර්තාපල් කිලෝවක සිල්ලර මිල රුපියල් හාරසියයත් රුපියල් හාරසිය විස්සත් දක්වා ඉහළ ගොස් තිබේ. මීට අමතරව විදේශ රටවලින් ගෙන්වූ හොඳ තත්ත්වයේ ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 340ත් රුපියල් 360ත් දක්වා ඉහළ ගොස් තිබේ.
එහෙත් විදේශ රටවලින් ගෙන්වූ අර්තාපල් කිලෝවක සිල්ලර මිල රුපියල් 200ත් රුපියල් 220ත් අතර මිලක පවතී.
සමහර ප්‍රදේශවල පොල් ගෙඩියක සිල්ලර මිල රුපියල් 180ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර, ලොකු පොල් ගෙඩියක තොග මිල පවා රුපියල් 150ත් රුපියල් 160ත් අතර මිලක් ගෙන තිබේ.
දේශීය ලොකු ලූනු, අර්තාපල්, පොල් මිල ඉහළ ගියත් කැරට්, ලීස්, ගෝවා, රාබු ඇතුළු එළවළු වර්ග සැලකිය යුතු ප්‍රමාණයක් කිලෝවක තොග මිල රුපියල් 100ත් රුපියල් 150ත් දක්වා පහත වැටී තිබෙන අතර, මේ නිසා ගොවිජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බව ගොවි සංවිධාන සඳහන් කරයි.
මේ පිළිබඳව ‘අද’ සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සමිතියේ ජාතික සංවිධායක එච්.එම්. උපසේන මහතාගෙන් විමසීමක් සිදුකළේය.
එහිදී ජාතික සංවිධායකවරයා සඳහන් කළේ, දේශීය ලොකු ලූනු තොග මේ වන විට වෙළෙඳ පොළට ලැබීම විශාල ලෙස අඩු වී තිබෙන බවත්ය.
මීට අමතරව පොල් තොග ලැබීම්ද අඩු වී තිබෙන බවත්, මේ නිසා ලොකු ප්‍රමාණයේ පොල් ගෙඩියක තොග මිල පවා රුපියල් 150ත් රුපියල් 160ත් අතර මට්ටමක පවතින බවද පැවසීය.
කැරට් කිලෝවක තොග මිල රුපියල් 60 දක්වා පහත වැටෙන අවස්ථා තිබෙන බවත්, සියලුම එළවළු තොග ලැබීම් ඉහළ යාම නිසා තොග මිල සේම සිල්ලර මිලත් සැලකිය යුතු මට්ටමකින් පහත වැටී තිබෙන බවද සඳහන් කළේය.
එළවළු මිල විශාල ලෙස පහත වැටීම නිසා ගොවීන් වියදම් කළ මුදලවත් නොලැබී යන අවස්ථා තිබෙන බවට වාර්තා වන බවත්, මේ නිසා රටට වාර්ෂිකව අවශ්‍ය වන එළවළු ප්‍රමාණ පිළිබඳව ගණනය කර, අදාළ අවශ්‍යතා සැලකිල්ලට ගෙන වගා කටයුතු සිදුකිරීමේ ක්‍රමයක් සකස් කළ යුතු බවද පැවසීය.
උපුටාගැනීම:අද වෙබ්පිටුව