පිටකොටුවේ විලවුන් සුවදට වශී වුන වයාපාරිකයාට අත්වූ ඉරනම
ලොව පැරණිම වෘත්තිය අදටත් ක්‍රියාත්මකය. නීති විරෝධි වුවද එම ජාවාරම කෙසේ හෝ පවත්වාගෙන යන්නට ඒ සඳහා ම සැදි පැහැදි සිටින අය සූදානම්ය. ගණිකා වෘත්තියේ යෙදීම නීතියෙන් තහනම් වුවත් එය ජාවාරමක් සේ තවමත් බොහෝ තැන්වල ක්‍රියාත්මත වෙයි. පිටකොටුව මහ පාරේ රාත්‍රියට ඔබමොබ සැරිසරන විථි ගණිකාවන්ගේ සිට රුපියල් ලක්ෂ ගණන්වලට එක රාත්‍රියට විකිණෙන ගණිකාවන්ද සිය ජාවාරම් කරගෙන යන්නේ පොලිසියෙන්ද ගැලවෙන මං සොයමිනි.
කාලයක් පිටකොටුව ඇතුළු ප්‍රධාන නගර කිහිපයක මහ පාරට සීමාව තිබුණ ගණිකා ජාවාරම වෘත්තියක් සේ බොහෝ දුරට ව්‍යාප්ත වන්නේ ‘ස්පා’ හෙවත් සම්බාහන මධ්‍යස්ථාන නොඑසේනම් ‘මසාජ් ක්ලිනික්‘ සංස්කෘතියත් සමඟමය. ඒ සමඟම අන්තර්ජාලයෙන් කතුන් අලෙවි කිරීමේ ජාවාරමද ඇත්තේ හිණිපෙත්තේය. ඒ රහසේ වුවද අදටත් පිටකොටුවේ මහ රෑ මඟතොට ඉඟිබිඟිපාන වීථි ගණිකාවන්ගෙන් නම් අඩුවක් නැත. පොලිසිය දකින විට පැන දුවන අඳුරේ සැඟවෙන නැවත එළියට එන ගනුදෙනුකරුවන් බෙදා හදා ගන්නට බැරිව ගහමරා ගන්නා දර්ශන පිටකොටුවේ රාත්‍රියට අමුතු දෙයක් නොවේ. මත්ලෝලීන් ද වන මේ කතුන්ගේ උගුල්වලට හසු වී ඇඳිවතත් නැති කරගැනීමට සමහරුන්ට සිද්ධ වන්නේ ඒ ජාවාරම්කාරියන් ඉතාම උපක්‍රමශීලී වීම නිසාය. මේ කතාවද එවැන්නකි.
පිටකොටුවේදී විථි ගණිකාවන්ගේ ඉඟිබිඟියට හසු වී ඇගේ පහස විඳීමට ගොස් රුපියල් ලක්ෂයකට අධික මුදල් සහ ජංගම දුරකතනය අහිමිකර ගත් ව්‍යාපාරිකයකු ගැන මේ පුවත පසුගියදා වාර්තා වුණේ මරදාන පොලිස් ස්ථානයෙනි.
මේ කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.
46 හැවිරිදි මේ ව්‍යාපාරිකයා කරවල මිලදී ගැනීම සඳහා පිටකොටුවට පසුගිය දිනෙක පැමිණ ඇත්තේ කරවල මිලදී ගෙන පසුදා උදෑසන මහනුවර ඔහුගේ ගම් පළාත බලා යන අටියෙනි.
බසයෙන් බැස පාර මාරු වන අතරේදී සුරූපී යුවතියක් ව්‍යාපාරිකයාගේ සිරුරේ වැදී නොවැදී ගමන් කරන්නේ ඔහු දෙස බලාගෙනය. ඇගේ සිරුරෙන් වහනය වූ විලවුන් සුවඳ ව්‍යාපාරිකයා මන්මත් කරන්නට ඇත. පාර මාරු වුණු සුරූපිණිය මඳකට නැවතී ව්‍යාපාරිකයා දෙස බලන අතර ඇය තම අත රැඳි ඔරලෝසුව දෙස ද බලන්නේ කිසිවකු බලාපොරොත්තුවෙන් බවට අන් අයට ඇඟවීමටය.
මේ කාන්තාව දුටු ව්‍යාපාරිකයාට ‘ඇය පිළිබඳ සිතක්’ පහළ වන්නේ නිතැතිනි. අනෙක් පසට පාර මාරු වූ ව්‍යාපාරිකයා යන ගමන මඳකට නවතා තම ජංගම දුරකතනයෙන් දුරකතන ඇමතුමක් ගන්නා බවක් හඟවමින් සුරූපිණිය දෙස බලා සිටියේය.
ඒ අවස්ථාවේ කළුවර වැටී තිබිණි. සුරුපිණියගේ ජංගම දුරකතනයට ඇමතුමක් එන්නේ එවිටය. ඇය ඊට කලබලෙන් මෙන් පිළිතුරු දී ව්‍යාපාරිකයා දෙස බලා ඔහු සමඟ සිනාසුණේ කලින් සිට දන්නා හඳුනන අයකු ලෙසය. සුරූපිණියගෙන් ලැබුණු ප්‍රතිචාරයට අනුව ඇය ළඟට ගිය ව්‍යාපාරිකයා ඇගෙන් අසන්නේ “නංගී මොකද මේ කොහේද යන්නේ මේ රෑ වෙලා?” යනුවෙනි.
එවිට සුරූපිණිය ව්‍යාපාරිකයාට කියන්නේ අමුතුම කතාවකි.
“අයියේ බලන්නකෝ මට වෙලා තියෙන දේ… අපේ අයියා මට කිව්වා කොළඹ එන්න කියලා. දැන් එයා කියනවා එයාට ඩියුටිලු එන්න බැහැයි කියලා. බලන්නකෝ දැන් රෑත් වෙලා… පාරේ යන මිනිසුන් මගේ මූණ බල බලා යනවා” යැයි ඇය කියන්නේ දුක්මුසු ලෙසිනි.
සුරූපිණියගේ ගම් ප්‍රදේශය ගැන විමසන ව්‍යාපාරිකයාට ඇය පවසන්නේ තමන්ගේ පදිංචිය මාතර බවය.
“අයියේ මගේ ගම් පළාත මාතර… මට කොළඹ එච්චර පුරුදුත් නෑ. අයියා කිව්වොත් විතරයි මම මෙහේ එන්නේ” යැයි ඇය පැවසුවාය.
“අයියේ අයියා මොනවද කොළඹ කරන්නේ?” යැයි ඇය විමසීමත් සමඟම ව්‍යාපාරිකා තමන්ගේ තොරතුරු නොවළහා ඇයට පැවැසුවේය.
“නංගී මටත් ඉන්නවා ඔයා වගේ නංගි කෙනෙක්. මම අද කොළඹ නැවතිලා හෙට උදේම නුවර යනවා. ඔයාටත් කැමති නම් මාත් එක්ක අද රෑ ඉඳලා හෙට උදේම ගමේ යන්න පුළුවනි. මම ඔයාව පිටකොටුව බස් ස්ටැන්ඩ් එකටම ගෙනත් බස්සවන්නම්” යැයි ව්‍යාපාරිකයා සුරූපිණියට කියන්නේ ඇය සමඟ රාත්‍රිය ගත කිරීමේ අදහසිනි.
“අනේ අයියේ අයියා වගේ කෙනෙක් මට හම්බ වුණේ වාසනාවට… මට දැන් බය නැහැ” යැයි ව්‍යාපාරිකයාට සුරූපිණිය කීවාය.
ඇය ඔහු සමඟ නවාතැන්පොළට රාත්‍රිය ගත කිරීමට යාමට සූදානම් වෙද්දී “මීටර් ටැක්සි එන්න නෝනා එන්න මහත්තයා කොහාට ද යන්නේ ගිහිල්ලා දාන්නම්” යැයි කියාගෙන එතැනට එන්නේ ත්‍රිරෝද රථ රියැදුරෙකි.
එම ත්‍රිරෝද රථයට ගොඩ වුණු දෙදෙනා යන්නේ පංචිකාවත්තේ ලැඟුම්හලකටය.
දෙදෙනා එහි කාමරයක් වෙන් කරවාගෙන ඊට ඇතුළු වී ටික වේලාවක් යද්දී එහි කඩා වදින්නේ ඔවුන් ටික වේලාවකට පෙර පැමිණි ත්‍රිරෝද රථයේ රියැදුරුය.
ත්‍රිරෝද රථ රියැදුරු සමඟ එක් වී ව්‍යාපාරිකයාට පහර දුන් සුරූපිණිය ව්‍යාපාරිකයා සතු රුපියල් ලක්ෂය සහ ජංගම දුරකතනය පැහැරගෙන යන්නේ විනාඩියක් ඇතුළතදීය.
සේසතම අහිමි කරගත් ව්‍යාපාරිකයා පා ගමනින්ම පැමිණ මේ සිද්ධිය මරදාන පොලිසියට පැමිණිලි කරන්නේ ඉන් අනතුරුවය. මරදාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාන්ත කුමාර ඇපල කොටුවගේ උපදෙස් මත විමර්ශන පැවැත්වෙයි.
දීපාල් සමරසේකර
උපුටාගැනීම: සිළුමිණ