පහලවේ සිසුවිය ගෙස්ට් හවුස් ගෙනගිය ගරාජ් බාස් ඉගැන්වූ පාඩම
සෑම තත්පරයකට වරක් ලොව කොතැනක හෝ දරුවකු ලිංගික අපයෝජනයට ලක්වන බවට සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි ද ලෝකයේම දරුවන් මිලියන 223ක් මෙලෙස අපයෝජනයට ලක්වන බවද පසුගියදා අනාවරණය කළේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මනෝ සමාජීය නිලධාරිනි සමන් කුමාරි අබේගුණසේකර මහත්මිය විසිනි. ළමා පරපුරේ ආරක්ෂාව පිළිබඳව කලාකරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකදී අබේගුණසේකර මහත්මිය මේ බව සඳහන් කළාය. වැඩසටහන පැවැත්වුණේ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීය. රැස්වීම ඇමතු අබේගුණසේකර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ ළමා සුරක්ෂිතභාවය ඇත්තේ 24% කටත් අඩු ප්‍රමාණයකට බවයි.
මනෝ සාමාජීය නිලධාරිනියගේ මේ හෙළිදරව්ව මෙරට ළමයින්ගේ ආරක්ෂාව සඳහා ද ඉතා වැදගත් එකකි. ඒ තරමටම මෙරට ළමයින් ගැන මව්පියන්, ගුරුදෙගුරුන්ගේ අවධානය යොමු විය යුතු කාලයකි මෙය.
පාසල් සිසුවියන් සමූහ අතවරයට ලක්වීමේ සිදුවීම් ගණනාවක් පසුගිය කාලයේ රටේ ප්‍රදේශ කීපයකින් වාර්තා වූ අතර ඒවා දරුවන්ගේ අනාරක්ෂිත භාවය විදහාපාන හොඳම නිදර්ශන කීපයකි.
එසේම ජංගම දුරකතනය, අන්තර්ජාලය, මුහුණු පොත ඔස්සේ ද ළාබාල සිසුවියන් ජාල අපරාධකරුවන්ගේ ග්‍රහණයට ලක්වීමේ ප්රවණාතාවක් දැන් දැන් දක්නට ඇති බව කීවොත් එය මුසාවක් නොවේ. විශේෂයෙන් මුහුණු පොත පරිහරණය කරන ළාබාල සිසුවියන්, තරුණ කාන්තාවන්, යුවතියන්, ජාල අපරාධකරුවන්ගේ ග්‍රහණයට ලක්වීමේ ඉඩකඩ වැඩි අතර ඒ ගැන අවධානය යොමු කළ යුතුම කාලයකි.
මුහුණුපොත පරිශීලනය කරන ළාබාල සිසුවියන් ඉතා සූක්ෂම ග්‍රහණයට ගෙන ඔවුන්ගෙන් තම පහත් ලිංගික ආශා පිරිමසා ගැනීම සඳහාම ක්‍රියාත්මක වන ජාල අපරාධකරුවන් මුහුණු පොතේ සැරිසරන බව රහසක් නොවේ. වඩාත් වැදගත්ම දේ මේ අසහනකාරයන්ගෙන් දූ දරුවන් පරෙස්සම් කර ගැනීමයි. ඒ වගකීම පැවැරෙන්නේ මව්පියන්ට සහ ගුරුදෙගුරුන්ටය.
මුහුණුපොතෙන් දැන හඳුනාගත් ළාබාල සිසුවියකට ලිංගික අතවර කළ ගරාජ් බාස් කෙනෙකු පිළිබඳ පුවතක් පසුගියදා වාර්තා වූයේ පාණදුර දකුණ පොලිස් ස්ථානයෙනි. ඒ පාණදුර දකුණ පොලිස් ස්ථානයේ නිලධරයන් කණ්ඩායමක් සිදු කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය.
ඇය පයාගල ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියකි. වයස අවුරුදු 15 කි. මේ සිසුවිය මුහුණුපොත පරිශීලනය කළාය. මිතුරු මිතුරියන් රැසක් ඇය සමඟ මිතුරු වන්නේ මුහුණපොත ඔස්සේය. ඒ අතර සුවිශේෂී චරිතයක්ද විය. ඔහු ගරාජ් බාස් කෙනෙකි. මේ ගරාජ් බාස්ගේ පදිංචිය මොරටුවේය. ඔහුගේ වයස අවුරුදු 24 කි.
දින සති ගෙවී යද්දී 15 හැවිරිදි සිසුවිය මේ ගරාජ් බාස් සමඟ ප්‍රේම සබඳතාවක් ඇතිකර ගත්තාය. ගරාජ් බාස් කපටියෙකි. තමන්ට වඩා අවුරුදු 9කින් බාල පාසල් සිසුවිය තමාගේ බහට නම්මවා ගැනීමට ඔහු ඉතාම සූක්ෂම විය. අසරණ සිසුවිය බාස්ගේ කතාවට රැවටුණාය. ඉන් අනිසි ප්‍රතිඵල ලබා ගැනීමට ගරාජ් බාස්ට හැකි වන්නේ ඒ නිසාය.
මුහුණුපොතේ මිතුදම ප්‍රේම සබඳතාවකට පෙරළෙද්දී ගරාජ් බාස් ඇයට ආරාධනා කරන්නේ පාණදුර නගරයට එන ලෙස පවසමිනි. පෙම්වතාගේ බහට ‘නැහැ බැහැ‘ නොකී සිසුවිය මව්පියන්ටත් හොරෙන් පාණදුර නගරයට එන්නේ තම පෙම්වතා හමුවන්නටය. පෙම්වතිය චාටුවෙන් රවටා ඇය කැටුව බණ්ඩාරගම ගෙස්ට් හවුසියකට කැඳවාගෙන යන ගරාජ් බාස් එහිදී ඇය අපයෝජනය කරන්නේ දැරියගේ විරෝධය මධ්‍යයේය. මේ සිද්ධිය ඉන් අනතුරුව කීප වතාවක්ම සිදුවූ අතර පෙම්වතා තමාගේ අනාගතය ගැන බලාගනීවි යැයි සිතා සිසුවිය නිශ්ශබ්ද වූවාය.
මෙසේ දින සති ගෙවී යද්දී කපටි ගරාජ් බාස් සිසුවිය ක්‍රමයෙන් මඟ හැරියේය. ඔහු එසේම මුහුණු පොතෙන් ද වසන් විය. සිසුවිය මේ බව දැනගත් මොහොතේ සිටම පසු වූයේ මහත් කනගාටුවෙනි. ඒ පෙම්වතා තමාව රැවටීම පිළිබඳවය. පෙම්වතා නැවත තමා සොයා නොඑන බවට දැන් ඇයට නිශ්චිතය. ඕ තීරණයක් ගත්තාය. ඒ තමාගේ ජීවන ගමනට සමු දීමටය.
කළු ගඟට පැන දිවි තොර කර ගැනීමට තැත් කළ සිසුවිය බේරා ගැනීමෙන් අනතුරුව රෝහල්ගත කැරිණි. පොලිසිය ඇගෙන් ප්‍රශ්න කරද්දී මේ සිද්ධිය සුලමුල හෙළි විය. සිසුවියගෙන් අසා දැනගත් තොරතුරුවලට අනුව මුහුණුපොත පරික්ෂා කළ පාණදුර දකුණ පොලිස් කණ්ඩායම සැකකාර ගරාජ් බාස් ගැන සියලු තොරතුරු හෙළිදරව් කරගන්නේ ඉතාම කෙටි කාලයක් ඇතුළතදීය.
සැකකාර ගරාජ් බාස් මොරටුවේ පදිංචි අයකු බව සොයාගත් පොලිස් නිලධාරීන් ඉන් අනතුරුව සිදු කරන්නේ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා සැලසුම් සකස් කිරීමයි. සැකකාර ගරාජ් බාස් පොලිසියට කොටුවන්නේ ඒ අනුවය.
පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන නිලධාරීන්ගේ උපදෙස් මත පාණදුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකරගේ මෙහෙයවීමෙන් පාණදුර පොලිසියේ උප පරීක්ෂිකා චන්ද්‍රිකා දිසානායක ඇතුළු කණ්ඩායමක් මේ ගැන විමර්ශන මෙහෙයවති.
දීපාල් සමරසේකර
උපුටාගැනීම: සිළුමිණ