ඇල්ලට එන සුද්දන්ගේ බෑග් උස්සන හොරුන්ට අමතක නොවෙන පාඩමක්
මෙරට සුන්දරත්වය විඳීමට පැමිණෙන සංචාරකයන් නොයෙක් පළාත්වල ඇවිදීම අරුමයක් නොවේ. එම අවස්ථාවලදී ඇතැම් සංචාරකයන්ට විවිධ පුද්ගලයන් අතින් සිදුවන හොර මැර වංචනික ක්‍රියාවන්ට මුහුණදීමට සිදු වීම නම් කිසිසේත්ම අනුමත කළ හැකි දෙයක් නොවේ. ඉන් සිදුවන්නේ මෙරට සංචාරක ව්‍යාපාරයට කළු පැල්ලමක් එකතු වීම පමණකි.
මෙරටට පැමිණෙන සංචාරකයන් කීපදෙනෙකුටම එවැනි අමිහිරි සිදුවීම් කීපයකටම මුහුණ දීමට සිදුවී තිබුණේ නොබෝදාය.
ඇල්ල බලා දුම්රියෙන් ගමන් කරන සංචාරකයන් දුම්රිය පාපුවරුවේ යමින් සිය වටිනා ජංගම දුරකතනවලින් අවට සුන්දරත්වය වීඩියෝගත කරද්දී උඩරට දුම්රිය මාර්ග දෙපස සිටින ඇතැම් සංවිධානාත්මක කණ්ඩායම් එම විදේශිකයන්ට පොලුවලින් පහරදී ඔවුන් සතු ජංගම දුරකතන බිම වැටුණ පසු ඒවා රැගෙන පලා යාමේ සිදුවීම් කීපයක් ද වාර්තා වී තිබුණු අතර එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය.
දුම්රියේ ගමන් ගන්නා සංචාරකයන්ගේ ගමන් මලු සොරකම් කිරීම අනෙක් සිදුවීමයි. එලෙස දුම්රියේ ගමන් කළ ඉන්දීය සංචාරකයකුගේ ගමන් බෑගය සොරකම් කළ පුද්ගලයකු දුම්රිය ආරක්ෂක අංශ නිලධරයන් විසින් අත්අඩංගුවට ගන්නේ ද පසුගියදාය.
මේ අතර කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබුණ දුම්රියක ගමන් කළ තවත් ඉන්දීය ජාතිකයකුගේ ගමන් බෑගයක් සොරකම් කළ පුද්ගලයකු වටවල පොලිස් නිලධරයන් විසින් අත්අඩංගුවට ගන්නේ හැටන් දුම්රිය ස්ථානාධිපති ජනක ප්‍රනාන්දුගේ මැදිහත් වීම නිසාය.
අදාළ ඉන්දීය සංචාරකයා සතු ගමන් බෑගය වටවල සහ හැටන් දුම්රිය ස්ථාන අතරදී අස්ථානගතව තිබුණි. සංචාරකයා මේ ගැන හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයාට දැනුම් දීමෙන් අනතුරුව දුම්රිය ස්ථානාධිපති ජනක ප්‍රනාන්දු මේ ගැන වටවල පොලීසියේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්.එම්.එස්. ජයරත්නට දැනුම් දී ඇත්තේ අස්ථානගතවූ ගමන් බෑගයට සමාන බෑගයක් රැගෙන දුම්රියෙන් පැමිණි අයකු වටවල ප්‍රදේශයට ත්‍රිරෝද රථයකින් ගිය බවට තොරතුරු ලැබුණු බවය.
වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වී රොසැල්ල ප්‍රදේශයට ගොස් ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් මේ ගැන විමසද්දී ගමන් බෑගයක් සහිත පුද්ගලයකු ගිනිගත්හේන සිට හැටන් දක්වා ධාවනය වූ ලංගම බසයකට ගොඩවූ බවට ලැබුණ තොරතුරු අනුව අදාළ බසය සොයා ගිය පොලිස් නිලධරයන් එම බසය හැටන් ඩිපෝව ඇතුළේ තිබී සොයා ගත් අතර එහි රාක්කයක ගමන් බෑගය තිබී සොයා ගන්නා ලදි. අදාළ බෑගය හැටන් දුම්රිය ස්ථානාධිපති ජානක ප්‍රනාන්දුට බාර දීමෙන් අනතුරුව ඔහු එය ඉන්දීය සංචාරකයාට බාර දීම සඳහා දුම්රියෙන් ඇල්ල දුම්රිය ස්ථානයට යවා තිබුණු අතර සංචාරකයා එහිදී බෑගය ලබාගෙන ඇත. සංචාරකයාගේ බෑගය සොරකම් කළ පුද්ගලයා හඳුනා ගැනීම සඳහා සීසීටීවී දර්ශන උපයෝගී කර ගැනීමට පොලීසිය කටයුතු යොදා ඇත.
මේ අතර සංචාරයක් සඳහා මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික කතකට අයත් ක්‍රෙඩිට් කාඩ්පත් සොරකම් කර හැටන් නගරයේ පිහිටි වෙළෙඳසල් කීපයකින් රුපියල් ලක්ෂ 2ක් පමණ වටිනා භාණ්ඩ මිලදී ගත් පුද්ගලයකු හැටන් පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ද පසුගියදාය.
මේ සැකකරුවා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවගේ මුදල් පසුම්බියේ තිබූ ක්‍රෙඩිට් කාඩ්පත් රඳවනය එහෙම පිටින්ම සොරකම් කර ඇත්තේ මහනුවර සිට ඇල්ල බලා ධාවනය වූ දුම්රියේ යන අතරය. හැටන් සහ තලවකැලේ අතරදී මේ සොරකම සිදුවී තිබුණි. ඔහු එම කාඩ්පත් සොරකම් කර දුම්රියෙන් බැස හැටන් නගරය දක්වා පැමිණ තිබුණි. එම ක්‍රෙඩිට් කාඩ්පත් උපයෝගී කරගෙන හැටන් නගරයෙන් රන්මාලයක්, වටිනා ජංගම දුරකතනයක් සහ උපාංග ද, අලුත් ඇඳුම් පැලඳුම් ද, ආහාරපාන ද මිලදී ගෙන ඇති අතර එම රන්මාලය හැටන් නගරයේ උකස් හලකට උකස්කර රුපියල් හැත්තෑඅට දහසක් ලබාගෙන තිබුණි.
ඇල්ල දුම්රිය ස්ථානයට ගිය බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව තමන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් අස්ථානගතවූ බව ඇල්ල සංචාරක පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සංචාරක පොලිස් නිලධරයන් ඒ පිළිබඳව හැටන් පොලීසියට දැනුම් දී තිබුණි.
හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකරගේ උපදෙස් මත හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේනගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් මධුෂංක ඇතුළු කණ්ඩායමක් මේ ගැන විමර්ශනය කරන්නේ ඉන් අනතුරුවය.
එහිදී පොලීසිය සොයා ගන්නේ කිසියම් සැක කටයුතු පුද්ගලයකු හැටන් සිට ඇල්ලට යාම සඳහා කුලී පදනමට වාහනයක් ලබා ගැනීමට විමසීම් කළ බවය. එම පුද්ගලයා සොයාගෙන අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු සන්තකයේ තිබී බ්‍රිතාන්‍ය කතගෙන් සොරකම් කරන ලද ක්‍රෙඩිට් කාඩ්පත් සොයා ගැනීමට පොලිසියට හැකි විය. සැකකරු එම ක්‍රෙඩිට් කාඩ්පත් උපයෝගී කරගෙන මිලදී ගත් භාණ්ඩ සහ ඔහු සන්තකයේ තිබුණ රුපියල් 3889ක් පොලිස් නිලධාරින් විසින් සොයා ගන්නා ලදි. විදේශීය මුදල් නෝට්ටු දෙකක් ද සැකකරු සන්තකයේ තිබී හමුවිය.
බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව හැටන් පොලීසියට කැඳවා ක්‍රෙඩිට් කාඩ්පත් සහ සැකකරු විසින් භාණ්ඩ මිලදී ගත් ආයතනවලින් අදාළ මුදල් අයකර ඇයට භාරදීමට කටයුතු යොදා තිබුණි.
අත්අඩංගුවට ගැනුණු සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකරගේ උපදෙස් මත හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේනගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් මධුෂංක, සැරයන්වරුන් වන (8978) පෙරේරා, (31110) විතාන, කොස්තාපල් (97711) විජේසූරිය යන නිලධරයෝ වැඩිදුර විමර්ශන සිදු කරති.
දීපාල් සමරසේකර
උපුටාගැනීම: සිළුමිණ