හැප්පුන බස් එක ආවෙ පැයට කිලෝමීටර් 90ට වඩා වේගෙන්
මඟීන් සිව් දෙනකුට මරු කැඳවමින් තිස්තුන් දෙනකුට තුවාල සිදු කරමින් කුරුණෑගල දඹුල්ල ප්රධාන මාර්ගයේ තෝරයායේ දී සිදුවූ බස් රථ අනතුරට හේතුව මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණු පෞද්ගලික මගී බස් රථය පැයට කිලෝ මීටර් 90කට වැඩි වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් එය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීම යැයි විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
මේ අවස්ථාවේදී රියැදුරු ජංගම දුරකතන ඇමැතුමකද නිරතව සිට ඇති බව බසයේ ගමන් ගත් මඟීන් පොලීසියට ලබාදුන් සාක්ෂිවලින් හෙළි වී ඇත. අනතුරු වළක්වා ගැනීමට ඔහුට හැකියාව ලැබී නැත්තේ දුරකතන ඇමතුම කෙරෙහි අවධානයෙන් සිටි නිසා බවද පැවසේ. බස් අනතුර සිදු වූ ස්ථානයේ තිරිංග සළකුණක් නොතිබීමෙන් ඒ් බව තහවුරු වී තිබේ.
දුරකතන ඇමතුමට අවධානය යොමු කර සිටි බැවින් මාර්ගයේ ඉදිරියෙන් අනෙක් බසය නවතා තිබෙන බව සැකකාර රියැදුරා දැක ඇත්තේ අවසාන මොහොතේදී බවද බසයේ මගීන් සඳහන් කර ඇත.
කුරුණෑගල දඹුල්ල ප්රධාන මාර්ගයේ තෝරයායේදී ඊයේ (9) අලුයම 4.50ට පමණ කුරුණෑගල දෙසටම ධාවනය කරවූ පෞද්ගලික බස්රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.
මැල්සිරිපුර සිට කුරුණෑගලට එක් බස් රථයක් ධාවනය වෙමින් තිබී ඇති අතර එම බස් රථය මගීන් නංවා ගැනීමට නතරකර තිබියදී පසුපසින් පැමිණි මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණු මගී බස් රථය පාලනයකින් තොරව පැමිණ ගැටී ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.
මෙම අනතුරින් තුවාල ලැබූවන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබන අතර ඉන් සිවුදෙනකුගේ තත්ත්වය බරපතළ බවත් ඉන් අයකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවත් පොලිසිය කියයි.
මෙම අනතුර සම්බන්ධයෙන් සැකපිට මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණු මගී බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටියදීය.
මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූයේ මැල්සිරිපුර මඩහපොල පොල්කටුව සුසන්ත තෙන්නකෝන් (47), කුඹුක්වැව තිහව සමීර සඳරුවන් රත්නායක (24), ඉබ්බාගමුව තල්ගොඩපිටිය ඩී.එන්.එස්.පී. බණ්ඩාරනායක (28) සහ මැල්සිරිපුර ඇත්මන්කඩ එච්.එම්.ඉන්දිරා නීලමනී (60) යන අයවලුන්ය.
මරණයට පත් සිවුදෙනාත් තුවාලකරුවනුත් මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවැති බසයේ ගමන් කරමින් සිටි මගීන් බව ද පොලිසිය සඳහන් කළේය.
බස්රථ දෙකම මගින් පටවා ගැනීම සඳහා තරගයට මෙන් ධාවනය කිරීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් සිදුකළ විමර්ශනවලදී හෙළිවූ බව පොලිසිය කියයි. තෝරයාය මුස්ලිම් පල්ලියට ආසන්නයේදී වංගුවක් වැනි ස්ථානයකදී ඉදිරියෙන් ධාවනය කරවූ බසය මගීන් නංවා ගැනීම සඳහා නැවත්වූ අවස්ථාවේදී පිටුපසින් පැමිණි මාදුරුඔය බසයේ රියැදුරාට වේගය පාලනය කරගත නොහැකිව එම බසයේ පසුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බව අනාවරණය වී ඇත. අනතුරත් සමඟම ඉදිරියෙන් තිබූ බසය මාර්ගයෙන් ඉවතට පැන නිවසක හැපීමෙන් එම නිවසටද හානි සිදුව ඇත.
අනතුරෙන් මාදුරුඔය බසයේ වම් පස පෙදෙසට දැඩි හානි සිදුව තිබෙන අතර මියගිය සහ තුවාල ලැබූවන්ගෙන් වැඩි පිරිසක් එම පෙදෙසේ ගමන් කරමින් සිටි අය බව ද පැවසේ. අනතුර වන අවස්ථාවේදී බසයේ ඉදිරිපස පාපුවරුවේ සහ ඇතුළතද සිටගෙනද විශාල පිරිසක් සිටි බව කියයි. අනතුර සිදුවන අවස්ථාව වනවිට බසයේ ගමන් කරමින් සිටි බොහෝ පිරිසක් නින්දේ පසුවන්නට ඇති බව පැවසේ.
අනතුරෙන් බස්රථ දෙකටම දැඩි හානි සිදුව ඇත. මාදුරුඔය බසයේ ඉදිරිපස සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇත. අනතුරෙන් පසුව මාදුරුඔය බසයේ රියැදුරා හා කොන්දොස්තරවරයා පලාගොස් සැඟව සිට පසුව පොලිසියට බාර වීමෙන් අනතුරුව මෙම අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම බසය මගීන් පටවා ගැනීම සඳහා අධික වේගයෙන් ධාවනය කරවමින් සිටි අවස්ථාවේදී අවස්ථා කීපයකදීම එම බසයේ ගමන් කරමින් සිටි මගීන් මෙන්ම අනතුරට ලක්වූ අනෙක් බසයේ රියැදුරාද එසේ වේගයෙන් ධාවනය නොකරවන ලෙස දන්වා ඇති බව ද වාර්තාවේ. අනතුරට පත් රෝගීන් රෝහල්ගත කිරීම සඳහා කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ධම්ම චන්නක කොබ්බෑවල මහතා ඇතුළු නිලධාරීන්ද සහාය වී ඇත. දොරටියාව පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සුජීව වීරසේකර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
සිද්ධිය වූ ස්ථානයේ තුවාලකරුවන් මුදා ගනිමින් සිටි මොහොමඩ් රිස්වාන් මහතා කියා සිටියේ,
” අනතුර සිදුවී පැය භාගයක් යනතුරු රෝහලට රෝගීන් රැගෙන යාමට කිසිදු වාහනයක් නතර නොකළ බවත්, හැමෝම සිද්ධිය වීඩියෝ කරන්න ෆොටෝ ගන්න විතරක් උත්සාහ දැරීම කනගාටුවට කාරණාවක් බවයි.‘ මෙම ස්ථානයේ මීට පෙර අවස්ථා ගණනාවකදී මෙවැනි අනතුරු කීපයක් සිදුවී තිබෙන අනතුරුදායක ප්රදේශයක් බව ඔහු අනාවරණය කළේය.
කුරුණෑගල අතිරේක පුෂ්පකුමාර ජයරත්න, කුරුණෑගල විශේෂ – සුනිල් එස්. පැල්ලන්දෙණිය, මාවතගම – ආනන්ද විජේතිලක ඉබ්බාගමුව සමූහ – කුමාරි දිසානායක සහ පොල්පිතිගම සමූහ – නන්දන කැලේගම
උපුටාගැනීම: දිනමින