ජේලර්ට වෙඩි තිබ්බෙ ශාන් පුතාගෙ පිස්තොලෙන්ද
වර්තමානය වනවිට අවිවාදයෙන් යුතුව පිළිගත යුතු දෙයක් තිබේ. එනම් මෙරට පාතාලය පෙර නොවූ අයුරින් සක්‍රීය වී ඇති බවයි.
එය මනාව පැහැදිලි වන්නේ මෙම වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මස දහතුන් වැනි දා දක්වා වූ කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් විසි එකක් වාර්තා වී තිබේ. ඉන් සිද්ධීන් දහ හතරක්ම සංවිධානාත්මක කල්ලි විසින් සිදුකර තිබුණි. ඉතිරි සිදුවීම් හත පෞද්ගලික ආරවුල් මත සිදු වූ වෙඩිතැබීම්ය.
මෙහි භයානකම තත්ත්වය වනුයේ පාතාල සාමාජිකයින් මහපාරේ පමණක් නොව යුක්තිය පසිඳලීම සඳහා වගකිව යුතු අධිකරණය තුළ පවා කිසිදු බියක් සැකක් නොමැතිව මනුෂ්‍ය ඝාතන සිදු කිරීමයි. ගණේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ඝාතනය එයට උදාහරණයකි. අධිකරණ ශාලාව තුළ නඩුවක් විභාග වෙමින් පවතින අතරතුර ඔහුව වෙඩි තබා ඝාතනය කළේ ආරක්ෂක අංශ වෙත චිකාගෝ පන්නයේ ගේමකටත් එහා ගිය ගේමක් විදහා දක්වමින්ය.
ආරක්ෂක අංශවලට පමණක් නොව අධිකරණ පද්ධතිය තුළට ද කැළලක් එක් කළ එම ඝාතන සිද්ධියත් සමග මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල ඇතුළු වගකිවයුතු නිලධාරින්ගේ උපදෙස් පරිදි වැඩබලන පොලිස්පතිවරයා පාතාලය මැඬලීම සඳහා විශේෂ ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කළේය. එහෙත් සැලකිය යුතු දෙයක් තවම සිදුවූයේ නැත.
පාතාලය මැඬලීම සඳහා එලෙස ආරක්ෂක අංශ බරටම කටයුතු කළ ද පසුගිය දහතුන් වැනිදා අක්මීමන සහ වැලිවේරිය ප්‍රදේශයන්වලදී තවත් වෙඩි තැබීමේ සිද්ධීන් දෙකක් වාර්තා විය. එහිදී එක් අයෙක් මිය ගිය අතර තවත් අයෙක් තුවාල ලැබීය.
වැලිවේරිය ප්‍රදේශයේදී වෙඩි වැදී තුවාල ලැබුවේ ජොන්ටි යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන විනෝත් දිල්ශාන් ප්‍රනාන්දු නමැති තරුණයෙකි. වයස අවුරුදු විසි හයක් වන ඔහු අංක 78, දොල ළඟ පාර, උඩුගම්පොල, ගම්පහ යන ලිපිනයේ පදිංචිකරුවෙකි. මෙම තරුණයා කෙහෙල්බද්දර පද්මෙගේ ඥාතියකු වන අතර සංජීවගේ පාර්ශ්වය විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වේ.
ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමෙන් පසු ඔහුට හිතවත් පාතාල පාර්ශ්ව විසින් සිදුකළ තුන්වන වෙඩි තැබීම ලෙස මෙය හැඳින්විය හැකිය. මෙයට පෙර අවස්ථා දෙකකදී කෙහෙල්බද්දර පද්මෙගේ පාර්ශ්වයේ තිදෙනෙකුට වෙඩි තැබූ අතර එහෙත් කිසිදු ජීවිත හානියක් සිදු නොවුණි.
ගණේමුල්ල සංජීවගේ පාර්ශ්වය සහ කෙහෙල්බද්දර පද්මෙගේ පාර්ශ්ව එලෙස මරා ගනිද්දී අක්මීමන ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කළේ පාතාල අපරාධකරුවකු නොව බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු අධිකාරිවරයෙකි. ඔහු සිරිදත් ධම්මික නමැති හැට එක්වන වියේ පසුවූවෙකි. විවාහක ඔහු එක්දරු පියෙකි. එම සිද්ධිය සැකෙවින් මෙසේය.
සිරිදත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට එකතු වන්නේ දැනට දශක හතරකට පමණ ඉහතදීය. එලෙස එක්වුණ ඔහු තම රාජකාරිය අකුරට කළ පුද්ගලයෙක් ලෙස එම දෙපාර්තමේන්තුව තුළ පමණක් නොව සිරකරුවන් අතර ද ජනප්‍රිය විය. තම සේවා කාලය තුළ ඔහු බන්ධනාගාර කිහිපයකම සේවය කර තිබුණි. ඒ කාලය අතරතුර විවිධ ගණයේ අපරාධකරුවන් ඔහුට මුණ ගැසුණි.
අවසන් වරට ඔහු රාජකාරි කටයුතු සිදු කළේ බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේය. ඒ එහි අධිකාරිවරයා ලෙසින්ය. බූස්ස බන්ධනාගාරය යනු නමගිය දරුණු ගණයේ සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා සිටින ස්ථානයකි. කංජිපානි ඉම්රාන්, හරක් කටා, පොඩි ලැසී, ගණේමුල්ල සංජීව වැනි දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටියේ ද මෙම බන්ධනාගාරය තුළයි.
නීතිය අකුරට ක්‍රියාත්මක කළ මෙම අධිකාරිවරයා සමග බහුතරයක් සිරකරුවන් සිටියේ බද්ධ වෛරයකින්ය. එම ලැයිස්තුවේ පොඩි ලැසී පෙරමුණින්ම සිටියේය. අවස්ථා කීපයකදීම මෙම අධිකාරිවරයාට සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් මරණ තර්ජන පවා එල්ල තිබුණි. එහෙත් ඒවා තඹ සතේකට මායිම් නොකර ඔහු තම රාජකාරි කටයුතු සිදු කළේය.
එපමණක් නොව දූෂිත බන්ධනාගාර නිලධාරීන්ට ද ඔහුගෙන් ගැලවුමක් තිබුණේ නැත. අවස්ථා කිහිපයකදීම දූෂිත නිලධාරීන් කිහිපදෙනකුගේම සේවය අත්හිටුවීමට ඔහු කටයුතු කළේය. එම නිසා අපරාධකරුවන් පමණක් නොව දූෂිත බන්ධනාගාර නිලධාරීන් ද ඔහු සමග සිටියේ බද්ධ වෛරයකින්ය. මෙවැනි තත්ත්වයක් මත පසුගිය වසරේ මාර්තු මාසයේ ඔහු විශ්‍රාම ගියේය.
අක්මීමන ඉහළගොඩ ප්‍රදේශයේ පදිංචි සිරිදත්ට ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවි සලක් ද තිබුණි. විශ්‍රාම ගිය පසු එම ව්‍යාපාර කටයුතු සඳහා ඔහු කාලය යොමු කළේය. එහෙත් ඔහුට තර්ජන ගර්ජනවලින් අඩුවක් නොතිබිණි. වරක් ඔහුගේ එම වෙළෙඳ සලට කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර තිබුණි.
සිරිදත් සේවයේ නියුතුව සිටි කාලයේදී ඇප ලබා නිදහස්ව විදෙස් රටකට පැන ගිය පොඩි ලැසී නමැති සංවිධානාත්මක අපරාධකරු පවසා සිටියේ “බූස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයාගේ සිට ඕනෑම නිලධාරියකු මරා දැමීමට තමා දෙපාරක් නොසිතන බවත්, තමාට විරුද්ධ වූ ජේලර්වරයා මරා දැමූ බවත්ය.” එලෙසම පොඩී ලැසි කිහිප වරක්ම සිරිදත්ට මරණ තර්ජන එල්ල කර තිබුණි. සිරිදත් සුපුරුදු පරිදි මේ කිසිවක් ගණන් නොගෙන තම දෛනික වැඩකටයුතු සිදු කරගෙන ගියේය.
දිනය පසුගිය දහතුන් වැනිදාය. වේලාව සවස හතර පසු වී තිබුණි. සිරිදත් තම නිවස ඉදිරිපිට ගෙවත්ත උදලුගාමින් සිටියේය. එක්වරම යතුරුපැදියක් ඔහු අසලට පැමිණ නැවැත්තුවේය.
එහි පුද්ගලයන් දෙදෙනකු සිටියේය. සිරිදත් ඔවුන් දෙස බැලුවේ කවුරුන්ද යන්න හඳුනා ගැනීමටයි. ඒ ක්ෂණයෙන්ම යතුරු පැදියේ පසුපස සිටි පුද්ගලයා ඔහු ඉලක්ක කර වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කළේය.
අනපේක්ෂිත එම වෙඩි ප්‍රහාර හමුවේ ඔහුට කිසිවක් කර ගැනීමට නොහැකි විය. පණ බේරා ගැනීමට පියවර කිහිපයක් ඉදිරියට දිව ගියත් ඔහුව කපා හෙලූ කෙසෙල් කඳක් මෙන් බිම ඇද වැටුණි. ඉන් පසු ලේ විලක් මැද ජීවිතයත් මරණයත් අතර සටනක ඔහු නියැළුණි. ඒ අතරතුර තම ඉලක්කය සපුරා ගත් අපරාධකරුවන් කිසිදු බියක් සැකක් නොමැතිව එම ස්ථානයෙන් පැන ගත්තේ තවත් මිනිස් ජීවිතයක් බිල්ලට ගනිමින්ය. ඉන් පසු වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ විශ්‍රාමික බන්ධනාගාර අධිකාරිවරයාව 1990 ගිලන් රථයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට අසල්වැසියෝ කටයුතු කළහ. එහෙත් පලක් වූයේ නැත. ඒ වන විටත් ඔහු මිය ගොස් තිබුණි.
පසුව ඝාතනය සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය ඇතුළු පොලිස් කණ්ඩායම් හතරක් විමර්ශන සිදුකළහ. එහිදී අනාවරණය වූයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිතා කරමින් මෙම ඝාතනය සිදුකර පලා ගොස් ඇති බවයි. ඒ අනුව සිදු කළ වැඩිදුර පරීක්ෂණවලදී යක්කලමුල්ල ප්‍රදේශයේ සීතලදොළ ආරණ්‍ය සේනාසනය පාරේ කටු පොල් වත්තක දමා ගොස් තිබියදී සැකකටයුතු යතුරුපැදි දෙකක් පොලිසිය විසින් සොයාගෙන තිබුණි.
එම යතුරුපැදි දෙකින් මෙම සිද්ධියට සම්බන්ධ ඝාතකයන් පැමිණ ඇති බවට පොලිසිය සැක පහළ කරයි. ඒ අනුව එම ප්‍රදේශයේ විශේෂ පොලිස් මෙහෙයුමක් සිදු කළත් මෙම ලිපිය ලියන විටත් කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකිවී තිබුණි.
පොලිසිය එලෙස පරීක්ෂණ පවත්වද්දී මෙම ඝාතනය පළමුව පොඩි ලැසීගේ ගිණුමට බැරවී තිබුණත් පසුව එය කරන්දෙණිය සුද්දාගේ අනු දැනුම මත සිදුවූවක් බවට තොරතුරු හෙළි වී තිබේ. එයට ප්‍රධානම හේතුව වී ඇත්තේ ඝාතනය කළ මෙම බන්ධනාගාර අධිකාරිවරයා තම සේවා කාලයේදී බූස්ස බන්ධනාගාරයේ සිටි කරන්දෙණිය සුද්දාගේ විරුද්ධ පාතාල කල්ලි සාමාජිකයන් කිහිපදෙනෙකුට උදව් උපකාර කිරීම නිසා හටගත් ආරවුලක් නිසා බව පැවසේ.
බන්ධනාගාර අධිකාරිවරයාගේ ඝාතන සිද්ධිය එසේ තිබියදී ‘ශාන් පුතා’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ප්‍රසිද්ධ රැප් ගායකයකු සහ ඔහුගේ කළමනාකරු ද පසුගිය දාහතර වැනිදා පොලිස් අත්අඩංගුවට පත්විය. ඒ මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයක් ඔහු සන්තකයේ තිබීම නිසාවෙනි. එම පිස්තෝලය ඔහුට ලබා දී ඇත්තේ බණ්ඩාරගම පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු විසින්ය. එම පොලිස් කොස්තාපල්වරයාව ද අත්අඩංගුවට ගෙන පොලිස් නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
හිටපු බන්ධනාගාර අධිකාරිවරයා ඝාතනය කිරීම සඳහා මෙම පිස්තෝලය භාවිතා කර ඇත්ද යන්න පිළිබඳවත් පරීක්ෂණ සිදු කරමින් පවතී.
ජාතික ආරක්ෂාව පිළිබඳව තමාට ටියුෂන් පවා දිය හැකි යැයි විෂය භාර ඇමැතිවරයා ප්‍රකාශ කළත් නිවසට වී නිදහසේ සිටීමටවත් නොහැකි කාලයක් වර්තමානය වන විට උදාවී තිබේ. එයට හොඳම උදාහරණය ලෙස විශ්‍රාමික මෙම බන්ධනාගාර අධිකාරිවරයාගේ ඝාතනය ගත හැකිය.
ගයාන් සමරසිංහ
උපුටා ගැනීම – දිවයින