සූකර උන වේගයෙන් පැතිරෙයි
අප්‍රිකානු සූකර උණ යළි පැතිර යන බැවින් ඌරු ගොවිපළවල මැරෙන ඌරන්ගේ මස් අනුභවයෙන් වළකින ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. එහි අධ්යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල ප්‍රකාශ කළේ මේ දිනවල ඌරු ගොවිපළවල අප්‍රිකානු සූකර උණ පැතිර යෑමෙන් ඌරන් මියයෑමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බවය.
මෙලෙස මියයන ඌරන්ගේ මාංශවල ඇති බැක්ටීරියා මිනිස් පරිභෝජනයට නුසුදුසු බව ඇය අවධාරණය කළාය. මෙරට තුළ ඌරු ගොවිපළවල් තුන්දහස් පන්සියයක් පමණ ඇති අතර එම ගොවිපළවල සිටින ඌරන් සංඛ්‍යාව ලක්ෂ දෙකකට ආසන්න වේ.
මෙම ගොවිපළවල සිටින සතුන්ගෙන් හාරසියයත් පන්සියයත් අතර ප්‍රමාණයකට මේ වනවිට අප්‍රිකානු සූකර උණ වැලඳී ඇති බව ද සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල ප්‍රකාශ කළාය.
මෙම තත්ත්වය බස්නාහිර, වයඹ, උතුරුමැද පළාත්වල ඇති ගොවිපළවල වැඩි වශයෙන් දක්නට ලැබේ. ඒ අනුව සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, අප්‍රිකානු සූකර උණ රෝගය ආසාදිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබේ. මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, පසුගිය 13 වැනිදා සිට මාස තුනක කාලයක් සඳහා වලංගු වන පරිදිය.
එම අති විශේෂ ගැසට් නිවේදනය මගින් ඌරන් අවදානම් සතුන් ලෙසද නම්කර තිබේ. අප්‍රිකානු සූකර උණ රෝගය, පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පැතිරී ගිය බැවින් හා තවදුරටත් පැතිරීමට ඉඩ ඇති බැවින් මෙම පියවර ගත් බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල නිකුත් කර ඇති එම අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ. ඒ අනුව කොට්ඨාස භාර පශු වෛද්‍යවරයා නිකුත් කරන ලද අවසර පත්‍රයක් නොමැතිව අවදානම් සහිත ඌරන්, ඌරු මස් හා එම නිෂ්පාදන, අසාදිත හා අවදානම් ප්‍රදේශ තුළ හෝ ඉන් පිටතට ප්‍රවාහනය කිරීම තහනම් වේ.
