දෙන්නෙක්ව ඉක්මනින් අත්තඩංගුවට ගන්නවා
2019 පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් හිටපු හමුදා නිලධාරීන් එකක් හෝ දෙදෙනකු ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත ජනාධිපතිවරයා, එහි වෙසෙන ශ්රී ලාංකික ප්රජාව හමුවූ අවස්ථාවේදී මෙම අදහස් පළ කළේය.
“පාස්කු ප්රහාරයට වගකිවයුත්තන් සොයා ගැනීමේ විමර්ශන මේ වන විටත් සිදුවෙමින් පවතිනවා” යැයි පැවසූ ජනාධිපතිවරයා, වත්මන් රජයට ලැබී ඇත්තේ “කඩාකප්පල් වූ විමර්ශනයක්” බව සඳහන් කළේය. ඒ නිසාම නැවතත් නව විමර්ශන ආරම්භ කිරීමට සිදුවිය හැකි බවද ඔහු පැවසීය.
මෙම ප්රහාරයට වගකිවයුත්තන් සොයා ගැනීමට නොහැකි වීමට ප්රධාන හේතුව දේශපාලනය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, “ප්රහාරයෙන් පසුව වගකිවයුතු බවට සැක කළ පුද්ගලයන්ම බලයට ආවා. සැක සහිත පුද්ගලයන්ම ඉහළ තනතුරු දැරුවා. එහෙම වුණාම ඔවුන්ගේ ක්රියාකලාපයන් ගැන හිතන්න පුළුවන්ද?” යැයි ප්රශ්න කළේය.
සාක්ෂි මැකී යාම සහ විමර්ශන නොමඟ යැවීම ඇතුළු තවත් බොහෝ දේ සිදුවී ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
“අපට ලැබී තිබෙන්නේ එවැනි තත්ත්වයක් යටතේ සිදු වූ විමර්ශනයක්. මේක ඊයේ සිදු වූ සිද්ධියක් නොවෙයි, අද පරීක්ෂණ පටන් ගත්තා කියන එකක් නොවෙයි. මෙය අසීරු කාර්යයක්. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එය කළ හැකි බව මා විශ්වාස කරනවා. අපිට පෙනී ගියා, මෑතකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත්තා. තවත් හිටපු හමුදා නිලධාරීන් කිහිප දෙනෙක් ඉක්මනින්ම අත්අඩංගුවට ගැනීමට නියමිතයි. ඒ නිසා විමර්ශන දිගටම සිදුවෙනවා, ඒවා ඉදිරියට යනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
