සමාජයට බම්බු ගසන්න කියා සහනාධාරයෙන් කසිප්පු පෙරූ ගම්වැසියෝ
සුළි කුණාටුවෙන් අවතැන්ව සුරක්ෂා මධ්‍යස්ථානයකට ලැබුණු සීනි එකතු කර ගමට ගෙන ගොස් කසිප්පු පෙරා සප්පායම් වූ පිරිසක් ගැන පුවතක් වියලුවට නුදුරු ගමකින් වාර්තා වේ.
නාය යෑම හේතුවෙන් ප්‍රදේශයේ බොහෝ ගම්බිම්වල ජනතාව අවතැන් වූහ.
ඉහළින් පිහිටි කඳුයායේ නායයෑමේ අවදානමක් පවතින බැවින් අප මේ කියන ගම්මානයේ පිරිස ද මේවන විට රැඳී සිටින්නේ ප්‍රදේශයේම පාසලක පිහිටවූ සුරක්ෂා කඳවුරකය.
කඳවුරෙන් ආහාරපාන, සෞඛ්‍ය පහසුකම්, පානීය ජලය ඇතුළු සියලු පහසුකම් ලැබුණ ද සවස් වෙද්දී ඇඟ රත් කරගන්නට ගමේ ඒවායින් ටිකක් නොලැබීම නිසා මේ ගමේ පිරිසක් පසුවූයේ දැඩි අපහසුතාවයකිනි.
එක් අයකුට ආවේ අපූරු අදහසකි. අපිට ලැබුණු ආධාර මලුවල සීනි තියෙනවා. හෙමිහිට ගමට ගියොත් වඩියක් දාගන්න පුළුවන්.
අපහසුවෙන් සිටි සියල්ලෝම යෝජනාව එක පයින් අනුමත කළහ. තම බිරින්දෑවරුන්ටත් ඥාතීන්ට හොරෙන් හෙමින් සීරුවේ සහන මලුවල තිබූ සීනි පාර්සල් පමණක් රැගෙන ඔවුන් නිවෙස් බලා පිටව ගියේ ඒ වන විටත් නිවෙස්වලට තිබූ අවදානම පවා නොතකමින්ය.
සියල්ලෝම එකතු වී කසිප්පු වඩිය සූදානම් කළහ.
සවස් වෙද්දි එයින් සප්පායම් වුණු ඔවුහු ගමට ඉහළින් කන්ද නාය යාමේ අවදානම පවා නොතකමින් තම නිවෙස්වලම රැය පහන් කරන්නට තීරණය කළහ.
අවදානම පහදමින් ඔවුන් කඳවුරට රැගෙන යෑමට පිරිසක් කටයුතු කළද එය ගණනකට නොගත්හ.
නිලධාරීන් අසරණ වූවත් ඔවුන්ට තවමත් වගේ වගක් නැත.
දැන් දරුවන් සමඟ බිරින්දෑවරු කඳවුරේය. පිරිමි පාර්ශ්වය විවිධ හේතු කියමින් ගම්මානයේය.
උපුටාගැනීම: දෙයියෝ සාක්කි
