අයෙක් නොඑන ගමන් යැවා අයෙක් රෝහලෙන් බන්දනාගාර යැවූ පරවි කතාව
පරවියෙක් හේතුවෙන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසුව එක් අයෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට එළඹෙන මස 2 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී.ඩී.ජේ ප්‍රේමරත්න නියෝග කර ඇත.
ඒ අනුව එසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පෑලියගොඩ ප්‍රදේශයේ අයෙක් බව සඳහන්.
අඳාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් පෑලියගොඩ පොලිසිය පැවසුවේ සැකකාර පුද්ගලයා පරවියන් අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටින අයෙක් බවයි.
එමෙන්ම මිය යාමට පෙර මෙම සිද්ධියේ මරණකරු ඉහත කී සැකකාර ව්‍යාපාරිකයාගේ ව්‍යාපාර ස්ථානය වෙත ගොස් ඔහුට අයත් පරවියෙක් ගත්තාදැයි ප්‍රශ්න කර ඇත.
එහිදී සැකකාර ව්‍යාපාරිකයා තමන් එසේ පරවියෙක් නොගත් බව මරණකරුට පවසා ඇති බවත් පොලිසිය අධිකරණයට දන්වා ඇත.
එහිදී “හරි මම බලාගන්නම්කෝ” යනුවෙන් පවසා ඇතිි මරණකරු එම ස්ථානයෙන් පිටත්ව ගොස් තවත් පුද්ගලයින් දෙදෙනකු සමඟ යළි පැමිණ සැකකාර පරවි කුරුල්ලන් විකිණීමේ ව්‍යාපාරිකයාට පහරදීමට උත්සාහ කර ඇත.
ඒ අවස්ථාවේ දෙපාර්ශවය අතර ඇතිවූ ගැටුමෙන් පසුව ව්‍යාපාරිකයාට බලපෑම් එල්ල කළ පුද්ගලයා මියගොස් ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී කරුණු හෙළි වූ බවද පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.
අඳාළ ගැටුමේදී සැකකාර ව්‍යාපාරිකයාගේ එක් අතකට බරපතළ තුවාල සිදුව ඇති බවත් එනිසා ඔහු ප්‍රතිකාර වෙනුවෙන් රෝහල්ගත කර ඇති බවද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් පොලිසිය අධිකරණයට දන්වා ඇත.
එමෙන්ම එහිදී පැමිණිල්ල මෙහෙය වූ පොලිසිය හා සැකකාර පුද්ගලයා සඳහා පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර ව්‍යාපාරිකයා එසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියම කර ඇත.
