අවවාද කල අසරන ඉඩම් හිමියාට පොල් හොරකම් කල කාන්තාව පොලිසියට ගොස් කල අමුතුම චෝදනාව
සිදුවුණේ එකක්.. පොලිස් පොතේ ලියැවුණේ එකක්.. මොකක්ද මේ අලකලංචිය..
මේ පුවත ගැන අහන ඕනම කෙනෙක්ට අන්න එහෙම හිතේවි..
සිය ඉඩමේ සිදුවූ පොල් සොරකමක් සම්බන්ධයෙන් පොල් සොරකම් කළ කාන්තාවකට අවවාදයක් කිරීම නිසා උරණ වූ ඇය, තමන්ට නිදහසේ එම ඉඩමෙන් පොල් කඩා ගැනීමට ඉඩ ලබාගැනීමේ අරමුණින් ඉඩම් හිමියාට අසත්‍ය චෝදනාවක් එල්ල කර ඇති පුවතක් වාර්තා වෙනවා.
ඇය පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ල ඇත්තෙන්ම අසත්‍යක්.. මේ කතාව ගෙතෙන්නේ අන්න ඒ සිද්ධිය වටායි.
ඔහු සහ ඔහුගේ බිරිඳ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන 38 වියේ පසුවෙන යුවලක් වුණා.
ඔහුට පිය උරුමයෙන් ලද ගොඩ ඉඩමක් ඇති අතර, එය පිහිටා ඇත්තේ ඔහු දැනට පදිංචි ඉඩමේ සිට කිලෝ මීටර් තුන හතරක පමණ දුරකිනි. එම ඉඩමේ වගා කටයුතු සොයා බැලීමට ඔහුට හෝ ඔහුගේ බිරිඳට දිනපතා හෝ සතිපතා යාමට නොහැකිව තිබෙන්නේ ඔවුන්ගේ ඇති කාර්යබහුලබව නිසාමයි.
ඒත් ඇතැම් විට සති දෙක තුනකට වරක් ඉඩමට ගොස්, එහි ඇති පොල් ගෙඩි ටිකක්, කෙසෙල් කැනක් කපා ගෙන ඒම සාමාන්‍ය සිරිතක් වුණා. ගස් කීපයක පොල් ඵලදාව තිබුණත් එහි ඵලදාව නෙළාගනු ලබන්නේ අසල් වැසියන් බවද ඔහු දන්නවා. එම පොල් හා කෙසෙල් හොරුන් කිසිදා අල්ලා ගැනීමටද ඔහුට නොහැකි වී තිබුණා.
මෙදින නිවාඩු දිනයක් හෙයින් පෙරවරු 10ට පමණ අදාළ ඉඩමට ඔහු යන විට කිසියම් අයකු තම ඉඩමේ ගැවසෙන බව ඈත තියාම දැක ගැනීමට හැකිවුණා.
ඔහු ඉඩමට ගියත් ඉඩමේ සිටි කාන්තාව ඔහු පැමිණි බවවත් නොදන්නාසේ බිම තිබු පොල් ගෙඩි කීපයක් මල්ලක දමා ගන්නා අයුරුත්, තවත් තැන් තැන්වල පොල් ගෙඩි කීපයක් වැටී ඇති අයුරුත් ඔහුට දැක ගත හැකිවුණා. තමන් පැමිණි බව වගක් නැතිව තම වත්තේ මෙසේ පොල් සොරකම් කිරීම ගැන ඔහු ඇයට දොස් පවරා, දැනට අහුලා ගත් පොල් ගෙඩි කිහිපය පමණක් රැගෙන යන ලෙසත්, මින් මතු මෙම ක්‍රියාව නොකරන ලෙස අවවාද කර තිබෙනවා.
එහිදී ඇය පවසා ඇත්තේ, තමන්ට මින් ඉදිරියට මෙලෙස පොල් කඩා රැගෙන යාමට ඉඩ නොදෙන්නේ නම් තමන්ට අතවර කිරීමට සුදානම් වූ බව කියා පොලිසියට පැමිණිල්ලක් කරන බවද පවසා, ඇය ඔහුට තර්ජනය කර ඇති අතර, තමන් ඔවැනි තර්ජනවලට බය නැති බවත්, මින් මතු මෙවැනි සොරකම් කළහොත් තමන් මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද ඔහු ඇයට පවසා, වත්තෙන් වහාම පිටව යන ලෙස පවසා ඉඩමෙන් පිටමන් කර තිබෙනවා.
ගෙවී ගියේ පැය කීපයක් පමණයි. පොලිසියෙන් ඔහුට ලද ඇමතුමෙන් සඳහන් වුයේ, ඔහුට විරුද්ධව කාන්තාවකට අතවරයක් කිරීමක් පිළිබඳව පැමිණිල්ලක් ලැබි ඇති හෙයින්, වහාම පොලිසියට පැමිණෙන ලෙසයි.
එම දැනුම් දීම මත පොලිසියට ගිය ඔහුට දැන ගැනීමට හැකි වූයේ දහවල් තම ඉඩමට පැමිණ පොල් සොරකම් කළ කාන්තාව තමන්ට පැමිණිල්ලක් කර ඇති බවකි.
අදාළ පැමිණිල්ල විභාගයේදී ඇය පවසා ඇත්තේ, මෙවැනි අතවරයක් තමන්ට මොහුගෙන් නොවුණ බවත්, තමන්ට මෙම ඉඩමෙන් මින් මතුවටත් කිසිදු බාධකයක් නොමැතිව පොල් කඩාගෙන යාමට අවසරයක් ලබා ගැනීමට මොහුට අවවාද කිරීමට පොලිසියේ සහය ලබා ගැනීම සඳහාත් බවයි.
දෙපාර්ශ්වයේ කරුණු පිළිබඳව අවධානය යොමුකළ ස්ථානාධිපතිවරයා, මෙවැනි චෝදනා සහිත පැමිණිල්ලක ඇති භයානකකම හා එහි බරපතළකම ඇයට වටහා දී අසත්‍ය චෝදනාවක් හා පැමිණිල්ලක් කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව නීතිමය කටයුතු කළ හැකි බවද දැනුම් දී තිබෙනවා.
එහිදී ඇය ඉඩම් හිමියාගෙන් හා ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ, තමන් නොදැන කළ මේ පහත් ක්‍රියාවට සමාව ලබා දෙන ලෙසත්, මින් මතු කිසි දිනක එම ඉඩම පැත්තේ නොයන බවටද පොරොන්දු වන බව කියමින්.
ඇයගේ එම ඉල්ලීම පිළිබඳව අවධානය යොමු කළ ස්ථානාධිපතිවරයා, ඇයගෙන් නැවත ප්‍රකාශයක් ගෙන සිද්ධිය සමතයකට පත් කර තිබුණා.
