කටුනායක ගුවන්තොටුපලට බෝම්බ බියක් ඇතිකල පිය පුතු කොටු වෙයි
කටුනායක බණ්ඩාරණායක ගුවන් තොටුපොළට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට අසත්‍ය තොරතුරක් ලබාදීමේ සිද්ධියකට අදාළ සැකකරුවන් දෙදෙනකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් පෙරේදා (28 වැනිදා) අත්අඩංගුවට ගෙන තීබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාරියපොළ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණයකු හා ඔහුගේ පියා බව මීගමුව කොට්ඨාසයේ උසස් නිලධාරියකු සඳහන් කළේය.
සැකකාර 30 හැවිරිදි තරුණයා මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන අයෙකු බවත්, ඔහුගේ පියා ඉන්දීය චිත්‍රපට බලමින් ඒ ආභාෂයෙන් කටයුතු කරන අයකු බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
කටුනායක බන්ඩාරණායක ගුවන් තොටුපොළට හා ගුවන් සේවා සමාගමේ කළමනාකාරවරයාට දුරකථන ඇමැතුමක් ගෙන පසුගියදා (27 වැනිදා) දැනුම් දී තිබුණේ ගුවන් තොටුපොළේ බෝම්බ පිපිරවීමක් සිදුවන බවටය.
මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී එය අසත්‍යක් බවත්, බෝම්බ බියක් ඇතිකරමින් කලබලයක් නිර්මාණය කර ඇති බවත් හෙළිවී තිබිණි.
කෙසේ වෙතත් අදාළ ඇමැතුම ලබාදුන් පුද්ගලයා සොයා කළ විමර්ශනවලට අනුව මෙම සැකකාර පියා සහ පුතු අත්අඩංගුවට ගෙන තිබෙන අතර මොවුන් කැළඹීමක් ඇති කරමින් එය බලා විනෝද වීමේ අරමුණින් මෙය සිදුකර ඇතැයි සැක කෙරේ.
කෙසේ වෙතත් සැකකාර 30 හැවිරිදි තරුණයා යම් මානසික ආබාධයකින් පෙළෙන බවට පවසා ඇතත් මොහු මානසික වෛද්‍යවරයකු වෙත යොමුකර වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව මීගමුව පොලිසිය පවසයි.
මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරාගේ මෙහෙයවීම මත මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් සිදුකරන අතර සැකකරුවන් ඊයේ (29 වැනිදා) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.