පැය විසි හතරෙම ගෙවල් බිදින අරුම පුදුම සජියා සහ චූටියා
මෙරට බස්නාහිර සහ වයඹ පළාත්වල පිහිටි නිවාස රැසක් බිඳ ඒවායේ තිබූ දේපොළ සොරකම් කිරීමේ නිරත වී සිටි පුද්ගලයන් දෙදෙනෙකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් මීගමුව නගර මධ්‍යයේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ පසුගියදාය.
මොවුන් දෙදෙනා එලෙස අත්අඩංගුවට ගැනීමට පෙර ද මෙවැනිම ගෙවල් බිඳුම් සහ කොල්ලකෑම් රාශියක් පිළිබඳ චෝදනා ලබා ඒවාට වරදකරුවන් වී දිගු කාලයක් රක්ෂිත බන්ධනාගාරගත වී ඇප මත මුදාහැර සිටී. මෙහි පළමු සැකකරු ආනමඩුව, ආඬිගම, නාගවිල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ‘බෝම්බ සජිත්’ නමැත්තෙකි. ඔහු විවාහකයෙකි.
අනෙක් සැකකරු ආරච්චිකට්ටුව, වයිරන්කට්ටුව, කුසල වත්ත, යාපා මාවතේ පදිංචි 28 හැවිරිදි ‘චූටියා’ යි. ඔහු ද විවාහකයෙකි.
මේ පුද්ගලයන් දෙදෙනාම කලක සිට ඉතාමත් තදින් හෙරොයින් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය මුදල් හදල් සොයාගැනීම සඳහා ගෙවල් බිඳුම් සහ මංකොල්ලකෑම් සඳහා පෙලඹී සිටිති.
මොවුන් දෙදෙනා සිදු කළ සොරකම් සහ මංකොල්ලකෑම් දිවා සහ රාත්‍රී යන කාල දෙක තුළදීම සිදු කර ඇති බව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධරයන් විසින් හෙළි කරගෙන ඇත. එහෙත් මේ ආකාරයට ගෙවල් බිඳුම් සහ කොල්ලකෑම්වල නිරත බොහෝ පුද්ගලයන් දවසේ එක් කාල හෝරාවක් පමණක් තෝරාගෙන සිය ගෙවල් බිඳුම් සහ මංකොල්ලකැම් සිදු කරන බව පොලිසියේ අදහසයි. මේ දෙදෙනා එසේ කර ඇත්තේ මත්ද්‍රව්‍ය සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීමේ අරමුණෙනි.
මීට අමතරව යම්කිසි නිවසක් බිඳ භාණ්ඩ සොරකම් කිරීමෙන් අනතුරුව එම නිවසෙහි මෝටර් රථයක හෝ යතුරුපැදියක යතුරක් හමු වුවහොත් ඉන් එම රථය පණ ගන්වා රථය ද පැහැරගෙන යාමේ පුරුද්දක් මොවුන් දෙදෙනාට තිබී ඇති බවද මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් හෙළි කරගෙන ඇත.
මෙම අපරාධ චර්යා නිසා ඔවුන් විසින් සිදු කෙරෙන සොරකම්වල වටිනාකම ඉහළ යාමට එය හේතු වී තිබේ. එසේම මෙම සොරුන් දෙදෙනා සොයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරින්ට මහත් උත්සාහයක නිරත වීමට සිදු විය.
මොවුන් දෙදෙනා පමුණුගම, මීගමුව, ආනමඩුව, කටාන, මුන්දලම, මාරවිල සහ වෙන්නප්පුව යන ප්‍රදේශවල පිහිටි නිවාස රාශියක් බිඳ ඒවායේ තිබූ දේපොළ මෙන්ම එම නිවාස ඉදිරිපිට නවතා තිබූ වාහන ද සොරාගෙන පලා ගොස් සිටි බවද හෙළි වන්නේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් සිදු කළ විමර්ශනයේදීය.
මෙසේ පැහැරගත් දේපොළ සහ වාහන මීගමුව, හලාවත, පෑලියගොඩ, තොටළඟ සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයන් වෙත අලෙවි කර තිබියදී මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් විසින් සොයාගෙන තිබේ.
එසේ අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනා මෝටර් සයිකල් 03ක්, ජංගම දුරකතන, රන් ආභරණ, ලැප්ටොප් පරිගණක යන්ත්‍ර සහ රූපවාහිනී යන්ත්‍ර ද තිබෙන බව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධරයකු සඳහන් කළේය. මොවුන් දෙදෙනා පසුගිය දිනෙක මීගමුව නගර මධ්‍යයේ සැරිසරමින් සිටියදී මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් වෙත ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබිණි.
ඉන් අනතුරුව මොවුන් දෙදෙනා පසු දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටිති.
මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී ගාමිණී රත්නායකගේ අධීක්ෂණයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන රණසිංහ, පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ, උප පොලිස් පරීක්ෂක සුදත් එස්. ඒ. ගුණවර්ධන, සැරයන්වරුන් වන 41466 වසන්ත, 61836 ඉන්දික, 60490 සෙනෙවිරත්න, කොස්තාපල්වරුන් වන 82685 උදයකුමාර සහ 99759 තෙන්නකෝන් යන නිලධාරින් විසින් පරීක්ෂණ සිදු කරන ලදි.
කටුනායක – ටී.කේ.ජී. කපිල
උපුටාගැනීම: සිළුමිණ