බොරු චෝදනා දමා අයෙකු හිරේ යැවූ පොලිසියේ දෙදෙනෙකුගේ සෙල්ලම් ලෙල්ලම් වෙයි
කවුරුන් කළද වරද; වරදමය. දුප්පත් – පොහොසත්, උගත් – නූගත්, බලය ඇති – නැති සේම උස් – පහත් බේදයකින් තොරව නීතියට පිටතින් කිසියම් හෝ වරදක් කිසියම් පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් සිදුකළහොත් එය දඬුවම් ලැබිය යුතුම වරදක් වේ. නීතිය සහ සාමය රකිමින් රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට සිටින රටේ ප්‍රධානතම ආයතනයක් වන පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකු තවත් හිටපු පොලිස් නිලධාරියකු සහ සාමාන්‍ය පුද්ගලයකු ද එක්ව නීතිය අවභාවිත කරමින් සිදුකරන ලද අපරාධයක් පිළිබඳ පසුගියදා වාර්තා විය.
එකී අපරාධයේ සුලමුල ද වසර තුනක පමණ දීර්ඝ වූත් පුළුල් විමර්ශනයකින් අනාවරණය කරගැනෙන්නේ ද නීතිය රකිමින් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට කැපව සිටින එකී පොලිස් දෙපාර්තමේන්තුවේම දක්ෂ නිලධාරියකු විසිනි. එවකට එනම් 2021 වසරේ ගම්පහ මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන ලද උපපොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරයකු සමඟ හිටපු පොලිස් නිලධාරියකු සහ සිවිල් පුද්ගලයකු එක්ව ව්‍යාපාරිකයකු නිරපරාදේ වරදකට හසුකොට ඔහුගෙන් රුපියල් ලක්ෂ ගණනක මුදල් ද වංචාකොට අනතුරුව ගංජා සහ තුවක්කුවක කොටසක් සමඟ එම පුද්ගලයා තමන්ට හසුවූ බව සඳහන් කරමින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ද ඉදිරිපත්කොට බන්ධනාගාර ගත කිරීමට තරම් මෙකී සිවුදෙනා පාපතර ක්‍රියාවක් සිදුකර තිබුණේ සියලු වගකිවයුත්තන් ද නොමඟ යවමිනි.
අනතුරුව එලෙස නිරපරාදේ දඬුවමක් ලද එම ව්‍යාපාරිකයාගෙන් ලද පැමිණිල්ලක් ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ සැරයන් 51904 ලියනගේ සිදුකළ දීර්ඝ සහ පුළුල් විමර්ශනයකින් ඉකුත් නොවැම්බර් 5 වැනිදා එම පොලිස් නිලධාරින් දෙදෙනා සහ හිටපු පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
එම පුද්ගලයන් සිවුදෙනා එක්ව සිදු කළ මේ පාපතර ක්‍රියාව පෙළ ගැසෙන්නේ මෙලෙසිනි.
වැල්ලේ කංකානම්ලාගේ චමිල සුරංග හෙවත් සුද්දා වයස අවුරුදු 40ක පමණ අයෙකි. විවාහකයකු වන සුද්දාගේ පදිංචිය හංවැල්ලේ, දොම්පේ සමනබැද්ද ප්රදේශයයි. ඔහු කලක් ගුවන් හමුදාවේ සිට ඉන් ඉවත් වූ අයෙකි. චමිල සුරංග ජීවිකාව ලෙස මාළු වෙළෙඳාම සිදුකරන අතර ඊට අමතරව කුකුළු ගොවිපොළක් පවත්වාගෙන ගියේය. තවද ඔහු පතල් කර්මාන්තයේ ද නිරත විය.
චමිල සුරංග හෙවත් සුද්දාගේ මහ ගෙදර බදුල්ලේ, පරගස්තැන්නේ, තල්දෙනය. ඔහුගේ උපන් ගම බදුල්ලේ වුවත් විවාහ වී දූදරුවන් සමඟ ජීවත් වූයේ හංවැල්ලේ, දොම්පේ සමනබැද්දේ නිෙවසේමය. චමිල සුරංග 2021 වසරේ දිනක් එවකට ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වූ ඉන්දික සිල්වා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ 2021 වසරේ අගෝස්තු 6 දා ගම්පහ, දුම්රිය ස්ථානයට ආසන්නයේදී ගංජා කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 270ක් සහ තුවක්කු බටයක කැබැල්ලක් සමඟ හසුවූ බවට අසත්‍ය චෝදනා ගොනු කරමින් තමන් ගම්පහ මූලස්ථාන පොලිසියට අනුයුක්ත උපපොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන පසුදා එනම් අගෝස්තු 7දා අධිකරණයට ඉදිරිපත්කොට රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි. තමා එලෙස නොකළ වරදකට හසු කොට අත්අඩංගුවට ගැනීමට පෙරදී එම කණ්ඩායම විසින් තමාගේ මුදල් ද ලක්ෂ ගණනක් ලබාගත් බවත් සඳහන් කෙරිණි. එම නිලධාරින් තමාට කළ අසාධාරණය පිළිබඳව චමිල සුරංග එම පැමිණිල්ල ඉදිරිපත් කළේය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ඉදිරිපත් කළ එම පැමිණිල්ල එවකට සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස කටයුතු කළ තුසිත කුමාරගේ අධීක්ෂණයෙන් විමර්ශනයක් සිදු කෙරුණත් අනතුරුව එම පැමිණිල්ල පොලිස්පතිවරයා වෙත යොමුකර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔස්සේ විමර්ශනයක් සිදු කිරීමටයි. ඒ අනුව එහි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයට යොමු කෙරිණි. ඒ 2022 වසරේ මාර්තු 26 වැනිදාය. එවකට මනුෂ්‍ය ඝාතතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්තගේ ඍජු අධීක්ෂණයෙන් ඒ පිළිබඳ විමර්ශනයක් කරන ලෙසට එම ලිපිගොනුව බාර කෙරුණේ සැරයන් 51904 ලියනගේටය.
සැරයන් ලියනගේ එම ලිපිගොනුව අධ්‍යයනය කිරීමෙන් පසු පැමිණිලිකාර චමිල සුරංග මනුෂ්‍ය ඝාතනය සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට කැඳවා ඔහුගෙන් දීර්ඝ ප්‍රකාශයක් සටහන් කරගන්නා ලදි. ඒ අනුව චමිලගේ පැමිණිල්ලෙන් හෙළි වන්නේ මෙවැන්නකි.
දිනය 2021 වසරේ අගෝස්තු 01 වැනිදාය.
එදින චමිල සුරංග සිටියේ බදුල්ලේ, තල්දෙන. මහගෙදරය. එදින අලුයම 5.30ට පමණ එම නිෙවසට පැමිණියේ බදුල්ල විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරින් යැයි සඳහන් කරමින් පොලිස් නිලධාරින් තිදෙනෙකි. නිෙවසේ සිටියේ චමිල සහ ඔහුගේ මව පමණි. ඒ මොහොතේ චමිල නිෙවසේ කාමරයක නිදා සිටියේය. පොලිස් නිලධාරින් තිදෙනා චමිලගේ මවට කියා තිබුණේ වාහනයක ලියකියවිලි ගැටලුවකට චමිල අත්අඩංගුවට ගැනීමට ඔවුන් එලෙස පැමිණි බවය. ඒ අනුව පොලිස් නිලධාරින් තිදෙනා වාහනයක ලියකියවිලි ගැටලුවකට බව කියමින් චමිල අත්අඩංගුවට ගත්තේ ඒ මොහොතේමය.
එම පොලිස් නිලධාරින් තිදෙනා චමිල එලෙස අත්අඩංගුවට ගැනීමට පැමිණ තිබුණේ කාරයකිනි. අත්අඩංගුවට ගත් චමිල එම කාරයට නංවාගෙන රැගෙන ආවේ ගිනිගත්හේනේ හෝටලයකටය. එම හෝටලයේදී චමිල සුරංගට නොසෑහෙන සේ පහර දුන් එම පොලිස් නිලධාරින් තිදෙනා ඔහුට කීවේ, “අපි තෙන්නකෝන් මහත්තයගේ යුනිට් එකෙන්… අපි තෙන්නකෝන් මහත්තයගේ හොඳම ගෝලයෝ… උඹගේ යාළුව නේද කළු සාගර… උගේ වෙපන් වගයක් උඹ ගාව තියෙනවා නේද? ඒවා අපට දීපන්…“ යැයි කියමිනි. පොලිස් නිලධාරින් කණ්ඩායම චමිලට දිගින් දිගටම පහර දුන්නේ ඔහුගේ කෑගැසීමවත් නොතකමිනි.
කෙතරම් පහර දුන්න ද චමිල කීවේ එවැනි පුද්ගලයකුගේ තියා වෙනත් කිසියම අයකුගේ තුවක්කුවක් තමා සන්තකයේ නොමැති බවයි. අනතුරුව පොලිස් නිලධාරීන් තිදෙනා කීවේ,
“එහෙනම් ගංජා හරි කමක් නෑ… අපට අරන් දීපන්…“ යැයි කියායි.
ඒ කිසිවක් චමිල සුරංගගෙන් ලබාගත නොහැකි වූ තැන ගිනිගත්හේන හෝටලයේ ගත කළ පිරිස පසුදා එනම් අගෝස්තු 2 දා චමිල රැගෙන ආවේ ගම්පහ මූලස්ථාන පොලිස් ස්ථානය වෙතය. අගෝස්තු 2 දා රාත්‍රිය චමිල සුරංග ගත කළේ ගම්පහ පොලිස් ස්ථානය තුළය.
අගෝස්තු 3 වැනිදා දින පොලිස් නිලධාරින් විසින් වාහනයේ ලියකියවිලි ගැටලුවක් ඇති බව රොමේෂ් හෙවත් අච්චු නමැත්තෙක් මාර්ගයෙන් චමිලගේ මවට පවසා බදුල්ලේ නිෙවසේ නවතා තිබූ චමිලට අයත් හයිලක්ස් වර්ගයේ කැබ් රථයක් පොලිසියට ගෙන්වා ගත්තේය. ඒ, බදුල්ලේ අයෙක් වන රොමේෂ් පෙරේරා හෙවත් අච්චු චමිලගේ හිතවතෙකි. එහෙත් එම රථය පොලිසියට ගෙන්වාගන්නා තෙක් එය අච්චු විසින් රැගෙන එන බව චමිල දැන සිට නැත.
එතෙක් ගම්පහ පොලිස් ස්ථානයේ සිටි චමිල අනතුරුව එම කැබ් රියට නංවාගත් පොලිස් නිලධාරින් කණ්ඩායම චමිල සමඟ ගියේ ඔහු පදිංචි හංවැල්ලේ, දොම්පේ, සමනබැද්දේ නිෙවසටය. එම නිවස පරීක්ෂා කළ පොලිස් නිලධාරින් කණ්ඩායමට චමිලගේ දරුවන් දෙදෙනාගේ මුදල් දැමූ කැට දෙකක් හමුවී තිබිණි.
“සර්… දරුවෝ දෙන්නගේ ඒ කැට දෙකේ රුපියල් දෙලක්ෂ අසූදාස් පන්සියක් තිබුණා… ඒ ඔක්කොම සල්ලි ටික ඒ අය ගත්තා…“ යැයි චමිල සුරංග සීඅයිඩී නිලධාරි සැරයන් ලියනගේට පවසා තිබිණි.
“ඒ වගේම සර්… මගේ කරේ තිබුණ රත්තරන් මාලෙත් ඒ අය ගත්තා… පස්සේ ඒක අච්චුට කියලා හංවැල්ලේ රජයේ බැංකුවකට උකස් කරලා රුපියල් එක්ලක්ෂ හතළිස්පන් දාහක් ගත්තා…“ යැයි ද චමිල කීවේය.
ඊට අමතරව චමිල සුරංග සතු පෞද්ගලික බැංකුවක ඔහුගේ ඒටීඑම් කාඩ්පතක් භාවිත කරමින් හංවැල්ලේ එම බැංකුවේ ශාඛාවකින් රුපියල් ලක්ෂයක මුදලක් ද එම නිලධාරින් විසින් ලබාගෙන තිබිණි.
එලෙස චමිලගෙන් රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් ලබාගත් පොලිස් නිලධාරින් සහ කැබ් රිය රැගෙන ආ අච්චු අගෝස්තු 3 වැනිදා දහවලේ යාපනය බලා පිටත් විය. ඒ යන අතර පිරිස එදින රාත්‍රිය ගත කිරීමට නතර වී තිබුණේ විල්පත්තුවේ හෝටලයකය.
“සර්… ඒ හෝටල්වලට සල්ලි… වාහනේට තෙල් ගහන සල්ලි ඔක්කොම වියදම් කළේ මගේ ළඟ තිබුණ රුපියල් තිස්පන්දාහ අරගෙන…“ යැයි ද චමිල සඳහන් කර තිබිණි.
පසුදා එනම් අගෝස්තු 4 දා සවස් වෙද්දී පිරිස යාපනයට ළඟා විය. එහිදී අච්චු පොලිස් නිලධාරින්ට කීවේ කලකට පෙරදී ඔහු සහ චමිල බදුල්ල – යාපනය පෞද්ගලික බස්රථවල රැකියාව කළ බවත් එසමයේ හඳුනාගත් මිතුරෙක් වන ජෙයබාලන් සන්තකයේ ගංජා තිබෙන බවය. ජෙයබාලන් යාපනයේ ගෙස්ට් හවුසියක් පවත්වාගෙන යන්නෙකි.
“සර්… ඒ කට්ටිය මාව අරන් යාපනේට ආවේ ගංජා ගන්න…“ යැයි චමිල කීවේ ඔහුගෙන් ගිනිඅවි ලබාගත නොහැකි වූ තැන ගංජා හෝ ලබා ගැනීමට ඔවුන් එලෙස එහි ගිය බව සඳහන් කරමිනි.
යාපනයට ගිය පිරිස චමිල සමඟ එම ගෙස්ට් හවුසියට ද ගියේය. එහිදී ගංජා පැකට් තුනක් සමඟ ජෙයබාලන් ද අත්අඩංගුවට ගැනිණි. එම ගංජා පැකට් තුන සමඟ ජෙයබාලන්ට අමතරව තිලෝෂන් නමැත්තා ද අත්අඩංගුවට ගැනිණි. ඒ මොහොතේ ජෙයබාලන්ට අයත් පෞද්ගලික බැංකුවක බැංකු පොත සහ ඒටීඑම් කාඩ්පත ද එම පොලිස් නිලධාරින් දෙදෙනා ඇතුළු කණ්ඩායම විසින් බලෙන් ලබා ගන්නා ලදි. අනතුරුව ජෙයබාලන් සහ තිලෝෂන් ද අත්අඩංගුවට ගැනීමෙන් පසු යාපනයෙන් පිටත්වූ පිරිස එදින රාත්‍රිය ගත කළේ කිලිනොච්චියේ හෝටලයකය.
අගෝස්තු 5 වැනිදා කිලිනොච්චියෙන් පිටත්වූ පිරිස එන අතරේ ද වවුනියාවේදී ජෙයබාලන්ගේ ඒටීඑම් කාඩ්පත භාවිතකොට 12 වතාවකදී රුපියල් 20,000 බැගින් රුපියල් දෙලක්ෂ හතළිස් දහසක මුදලක් ලබාගෙන තිබිණි.
එදිනම තඹුත්තේගම රැජින හංදියේ පිහිටි ජෙයබාලන්ගේ බැංකු පොතට අදාළ බැංකු ශාඛාවට ජෙයබාලන් යවා තවත් රුපියල් ලක්ෂ හතක මුදලක් එම පොලිස් නිලධාරින් දෙදෙනා විසින් ලබාගත් බව ද චමිල සුරංග සීඅයිඩී නිලධාරින් ඉදිරියේ පැවැසීය.
එලෙස එන අතරමඟදී ගල්ගමුවේ සිටි පොලිස් නිලධාරින් දෙදෙනාගෙන් කෙනෙකුගේ මිතුරෙකුගේ නිෙවසට ගොස් සාදයක් ද පවත්වා තිබිණි. එලෙස පැමිණ 5 වැනිදා රාත්‍රිය චමිල සුරංග, ජෙයබාලන් සහ ත්රිලෝෂන් යන තිදෙනාම ගම්පහ පොලිස් ස්ථානයේ සිර මැදිරියට දමන ලදි. අගෝස්තු 6 වැනිදා දින චමිල සුරංග හෙවත් සුද්දා ගම්පහ දුම්රිය ස්ථානයට ආසන්නයේදී ගංජා කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 270ක් සහ තුවක්කු බටයක කැබැල්ලක් සමඟ අත්අඩංගුවට ගත් බවට අසත්‍ය චෝදනාවක් ගොනුකොට අගෝස්තු 7දා දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට තරම් එකී පොලිස් නිලධාරින් දෙදෙනා සියලු දෙනාම නොමඟ යවමින් කටයුතු කළ බවත් චමිල සීඅයිඩී නිලධාරින් ඉදිරියේ හෙළි කළේය.
චමිලට අමතරව අගෝස්තු 7දා ජෙයබාලන් ගංජා කිලෝග්‍රෑම් 6 ප්‍රමාණයක් සමඟ ද ත්රිලෝෂන් ගංජා ග්‍රෑම් 840ක්ද සමඟ යක්කල බස් නැවතුම්පොළේ සිටියදී අත්අඩංගුවට ගත් බවට තවත් ව්‍යාජ කතාවක් නිර්මාණය කර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
යක්කලදී ජෙයබාලන් සහ ත්රිලෝෂන් අත්අඩංගුවට ගැනීමට තවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු ද ගිය බව එදින ගම්පහ මූලස්ථාන පොලිසියේ පොත්පත්වල සඳහන් කිරීමට ද මෙකි පොලිස් නිලධාරින් දෙදෙනා කටයුතු කර තිබිණි.
චමිල සුරංග සිදුකළ එම පැමිණිල්ල ඔස්සේ සැරයන් ලියනගේ සිදුකළ විමර්ශනයේදී ගම්පහ පොලිසියේ පොත්පත්වල මෙන්ම එම නිලධාරින් දෙදෙනාගේ ප්‍රකාශවලින් හෙළි වී තිබුණේ එවැනි මෙහෙයුමකට සහභාගි වීමට තමන් නොගිය බවය.
එලෙස ව්‍යාජ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරගත කරන ලද චමිලට බන්ධනාගාරය තුළදී කොරෝනා රෝගය ද වැලඳිණි. අනතුරුව ඇප මත මුදා හැරුණු චමිල පොලිස් නිලධාරින් තමාට ව්‍යාජ ලෙස බොරු චෝදනා ගොනුකොට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළා පමණක් නොව මුදල් ද කොල්ලකෑ බව සඳහන් කරමින් එවකට ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වූ ඉන්දික සිල්වා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කෙළේය.
රහස් පොලිසිය සිදුකරන ලද චමිලගේ පැමිණිල්ලට අනුව සැරයන් ලියනගේ දීර්ඝ විමර්ශනයක් ආරම්භ කෙළේ 34 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ද සටහන් කරගනිමිනි. ඊට අමතරව දුරකතන විශ්ලේෂණ වාර්තා, බැංකු වාර්තා මඟින් සැකකරුවන් පිළිබඳ තහවුරු කරගැනීමෙන් පසු 2023 වසරේ සැප්තැම්බර් 1 දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කෙරිණි. ඒ වන විට එදා ව්‍යාජ චෝදනා ඔස්සේ චමිල සුරංග අත්අඩංගුවට ගත් උපපොලිස් පරීක්ෂක චතුරංග සහ පොලිස් කොස්තාපල් තරංග ගම්පහ පොලිස් කොට්ඨාසයට අයත් වැලිවේරිය පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටියේය.
එදා 2021 වසරේ චමිල අත්අඩංගුවට ගැනීමට බදුල්ලට ගිය එවකට ගම්පහ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ රාජකාරි කළ උපපොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයා සමඟ පොලිස් සැරයන්වරයකු ද ගොස් තිබිණි. එම පොලිස් සැරයන්වරයා ලෙස පෙනී සිට තිබුණේ නිශාන්ත හෙවත් පොලිස් නිශාන්ත නමැත්තෙකි. ඔහු චමිල අත්අඩංගුවට ගැනීමට ගිය සමය වන විට පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉවත්ව සිටි අයෙකි. එහෙත් ඔහු එදා චමිල අත්අඩංගුවට ගන්නා මොහොතේ පෙනී සිට ඇත්තේ පොලිස් සැරයන්වරයකු ලෙසය. එකී නිශාන්ත මේ වන විට බළංගොඩ ප්‍රදේශයේ බීඩි කර්මාන්තයේ නිරතව සිටින්නෙක් බව සීඅයිඩී විමර්ශනයෙන් හෙළිදරව් විය.
මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශ නිලධාරින් ගම්පහ අධිකරණයට කරුණු වාර්තා කරමින් එම පිරිස අත්අඩංගුවට ගැනීමට නියෝගයක් ලබා ගනිද්දී වැලිවේරිය පොලිසියට අනුයුක්තව රාජකාරි කළ උපපොලිස් පරික්ෂකවරයා සහ කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීම වළකාලමින් තහනම් නියෝගයක් ගැනීමට ඔවුන් අධිකරණයේ පිහිට පැතීය. එහෙත් ඔවුනගේ ඉල්ලීම් ඉවතලමින් අධිකරණය ඉකුත් නොවැම්බර් 1 වැනිදා නියෝගයක් ලබා දී තිබුණේ එම පිරිස අත්අඩංගුවට ගන්නා ලෙසයි.
ඒ අනුව ඉකුත් නොවැම්බර් 5 දා උපපොලිස් පරීක්ෂක චතුරංග සහ කොස්තාපල් තරංග මෙන්ම නිශාන්ත හෙවත් පොලිස් නිශාන්ත පොලිසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටී. මෙකී ‘අවනඩුව‘ට සම්බන්ධ වූ රොමේෂ් හෙවත් ‘අච්චු‘ නමැත්තා සැඟවී සිටී. ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කෙරේ.
එදා බොරු චෝදනා ගොනුකර චමිල අත්අඩංගුවට ගැනීමෙන් පසුව අච්චු තවත් රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් ද චමිලගේ බිරිය මාර්ගයෙන් බැංකු ගිණුම් දෙකකට ගිණුම්ගත කරගෙන තිබුණේ චමිලගේ නඩු කටයුතු වෙනුවෙන් බවට චමිලගේ බිරියට බොරු බේගලයක් ඇදබාමිනි. සීඅයිඩී විමර්ශනයේදී හෙළිවී ඇත්තේ එලෙස ලබාගත් මුදල් ලබාගෙන ඇත්තේ අච්චු විසින් බවටය.
තවද සීඅයිඩී විමර්ශනයේදී හෙළිවී ඇත්තේ අච්චු සහ පොලිස් නිශාන්ත යන දෙදෙනා අතර චමිල සුරංග අත්අඩංගුවට පත්වීමට පෙර සිටම ළඟ ඇසුරක් තිබී ඇති බවයි. එහෙත් ඒ බව චමිල සුරංග දැන සිට නැත.
අමිල මලවිසූරිය
උපුටාගැනීම: සිළුමිණ