කොළඹ වතුර බෝතලේකට රුපියල් ලක්ෂ 10ක දඩයක්
බීම වර්ග පිළිබඳ ප්‍රකට සන්නාමයක් දරන ආයතනයක මිලිලීටර් 500ක පානීය ජල බෝතලයක් එහි පාලන මිල වන රුපියල් 70ක මිල ඉක්මවා රුපියල් 90ක මිලකට අලෙවි කිරීමේ වරදට කොළඹ ප්‍රසිද්ධ බේකරියකට රුපියල් ලක්ෂ හයක දඩ මුදලක් නියම කර ඇතැයි කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි. කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ නියෝග පරිදි 2025/04/24 වැනි දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නාරාහේන්පිට දිස්ත්‍රික් කාර්යාලයේ විමර්ශන නිලධාරීන් විසින් මේ වැටලීම සිදුකරන ලද අතර එහිදී පානීය ජල බෝතල් රුපියල් 90ක මිලකට අලෙවි කරන ලද බව අනාවරණය කර ගන්නා ලදි. මේ සඳහා 2025 අගෝස්තු මස 28 වැනි දින අංක පහ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකරනු ලැබූ බව කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කළේය. එදින මෙහි විත්තිකරු වන අදාළ පෞද්ගලික සමාගම වරද පිළිනොගත් බැවින් ඊයේ(09)දිනට නඩුව කල් තැබිණි.
ඊයේ (09) විවෘත අධිකරණයේ නඩුව කැඳවූ අවස්ථාවේ පානීය ජල බෝතල් පාලන මිලට වඩා වැඩි මිලට අලෙවි කළ බව අදාළ සමාගම විසින් වරද පිළිගන්නා ලදි. මේ වරද සඳහා 2021 අංක 20 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (සංශෝධිත) පනත අනුව අවමය ලක්ෂ පහේ සිට උපරිමය ලක්ෂ පනහක් දක්වා දඩ නියම කළ හැකි බව පාරිභෝගික අධිකාරිය වෙනුවෙන් කරුණු දක්වා සිටි විමර්ශන නිලධාරී අධිකරණය හමුවේ දන්වා සිටියේය.
එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ඉහත වරදට රුපියල් ලක්ෂ හයක දඩ මුදලක් නියම කරනු ලැබූ අතර එම සම්පූර්ණ දඩ මුදල ඊයේ දිනයේම ගෙවා නිම කරන බව අදාළ සමාගම අධිකරණය හමුවේ දන්වා සිටි බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මාධ්‍ය ඒකකය සඳහන් කළේය.
සුභාෂිණී සේනානායක
නෙරංජලා වික්‍රමසිංහ