පෙම්වතිය බලන්න ගිය තරුණයා දුම්රියට පැන්නාද? හැපුණාද?
කොළඹ සිට හලාවත බලා ධාවනය වූ මගී දුම්රියක ගැටීමෙන් තරුණයෙකු මියගොස් ඇති බව උදාසිරිගම පොලිසිය වාර්තා කරයි. මෙම අනතුර ඊයේ (28) දහවල් ලුණුවිල ඛණ්ඩිරිප්පුව ප්‍රදේශයේදී සිදුව තිබේ.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොච්චිකඩේ මානවේරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි සෙවන් ඇඬම්පෙලා නමැති අවිවාහක තරුණයෙකි.
මියගිය තරුණයා ලුණුවිල ප්‍රදේශයේ තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇති අතර, සිය පෙම්වතිය හමුවීමට පැමිණ ආපසු යමින් සිටියදී මෙම මාරක අනතුරට මුහුණ පා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
දුම්රියේ ගැටීමෙන් බරපතළ තුවාල ලබා සිටි තරුණයා 119 සුවසැරිය ගිලන් රථයකින් ලුණුවිල ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගොස් ඇති නමුත්, රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම සිදුවීම සිය පෙම්වතිය සමග ඇතිවූ බව කියන ආරවුලක් මත සිදුවූ සියදිවි නසාගැනීමක්ද, එසේත් නැතිනම් අවාසනාවන්ත අනතුරක්ද යන්න තහවුරු කරගැනීම සඳහා උදාසිරිගම පොලිසිය විමර්ශන පවත්වයි.
මරණ පරීක්ෂණ කටයුතු සඳහා මළසිරුර මාරවිල මූලික රෝහල වෙත යොමු කර ඇති අතර, මරණ පරීක්ෂක නිරෝෂන් ගුණසේකර මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.
