කඩුගන්නාව අනතුරින් මි යගිය ගාමිණී සර්ගෙ පුතා ඇතුළු අය ගැන විස්තර
කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාවේදී නිවෙසක් සහ හෝටලයක් මතට පෙරේදා (22) උදෑසන 8.40ට පමණ සිදුවූ මෙම ඛේදවාචකයෙන් හය දෙනකු මියගොස් ඇති අතර සිවු දෙනෙක් තුවාල ලැබූහ. විශාල ගල් කුට්ටියක් සමඟ පස් කන්දක් කඩාවැටීමෙන් නිවෙස සහ ආපනශාලාව සුන්බුන් ගොඩක් බවට පත් විය. එයට යටවූ පිරිස අතර එහි සේවකයන් මෙන්ම ආහාර ගැනීමට පැමිණි අයද සිටි බව පොලිසිය පැවැසීය.
තුවාලකරුවන් කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත. එහි එක් සේවිකාවක් පැය හයකට පමණ පසුව සහන කණ්ඩායම් විසින් නිරුපද්‍රිතව බේරා ගනු ලැබුවාය.
අනතුරින් මරණයට පත්ව ඇත්තේ පහත සඳහන් පුද්ගලයින්ය:
වැලිගල්ල, ගල් අමුණ පාර ලිපිනයේ පදිංචි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ කථිකාචාර්යවරයකු වූ සමරකෝන් මුදියංසේලාගේ ළහිරු මධුසංඛ (30),
පහළ කඩුගන්නාව, හිඟුල ප්‍රදේශයේ ආපනශාලාවේ හිමිකරුගේ පියා වූ රාසලිංගම් කරුණාකරම් (66),
අනතුරට පත් ආපනශාලාවේ හිමිකරුගේ බිරිඳ වූ කිසාලංගම් නිශාන්තනි කරුණාකරන් (39),
කඩුගන්නාව, බලවතගම, කිරි බෝලවත්ත ලිපිනයේ පදිංචි තිටිලිගොඩ නව ජයසිංහගේ ලින්ටන් ජානක කුමාර ජයසිංහ (60),
ඇඹිලිපිටිය නගරයේ පදිංචි රුවන් කුමාර අබේසිරි සමරනායක (41),
ගම්පොළ, හීන්දෙණිය ප්‍රදේශයේ පදිංචි ගුණරත්න පුලස්ති බණ්ඩාර.
අනතුර සිදුවී පැය දහයක පමණ කාලයක් අධික වර්ෂාවද නොතකා අනතුරට පත්වූවන් මුදා ගැනීමේ කටයුතුවලට පොලිසිය, යුද හමුදාව, සහන කණ්ඩායම් සහ ප්‍රදේශවාසීහු විශාල කැප කිරීමක් කළහ. අනතුරෙන් දිවි අහිමි වූ මාවනැල්ලේ පදිංචි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ළහිරු සමරකෝන්, ගොඩනැගිල්ලට යටව සිටි පුද්ගලයන් අතුරින් මුලින්ම ගොඩගනු ලැබූ තැනැත්තා විය.
බොහෝ දෙනකුගේ හද කම්පාවට ලක් කරන මෙම සිදුවීමේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ කථිකාචාර්ය ළහිරු සමරකෝන්ට සිය ජීවිතය අහිමි වූයේ, මෙහි තිබූ ආපන ශාලාවට ගොස් ආහාර ගනිමින් සිටියදීය. මාවනැල්ල, සියඹලාපිටිය, වැලිගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ 31 හැවිරිදි ඔහු මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු පැමිණි කළු පැහැති මෝටර් රථයටද තරමක හානි සිදුවී වෙළෙඳසල අසල තිබෙනු දැක ගත හැකි විය.
සහෝදරයකු සහ සහෝදරියකගෙන් සමන්විත පවුලේ වැඩිමහල් සහෝදරයා වන කථිකාචාර්යවරයා, ශිෂ්‍යත්ව විභාගය සමත්ව මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා මහනුවර දිස්ත්‍රික්කයෙන් ඉහළම ලකුණු මට්ටමක් ලබා ගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරී පත්වූ අයෙකි. ඔහුගේ පියා ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයකු වන ගාමිණී සමරකෝන් මහතාය.
අනතුර සම්බන්ධයෙන් ගාමිණී සමරකෝන් මහතාගේ වැඩිමහල් සොහොයුරාගේ පුතණුවන් වන චානක බණ්ඩාර මහතා මෙසේ පැවැසීය: “සිද්ධිය වූ දින විශ්වවිද්‍යාලයේ නිවාඩු දිනයක් නිසා නිවෙසේ රැඳී සිටින අවස්ථාවේ ඔහු යාළුවන් දෙදෙනකු එක්ක මහනුවර ප්‍රදේශයේ වැඩකට ගිහින් තියෙනවා. උදෑසන ආහාරයද නොගෙන නිවෙසින් පිටව ගිය ඔවුන් උදෑසන මෙම වෙළෙඳසලෙන් ආහාර ගැනීමට නැවතී තිබෙනවා. ඒ වෙලාවේ තමයි අවාසනාවන්ත අනතුරට මුහුණ පාලා තිබෙන්නේ. ඔවුන් එක්ක ආ එක් යාළුවෙක් මෙම එළිමහන් හෝටලයේ සුන්දරත්වය දැක බලා ගැනීමට පැමිණ ඇති බව දැනගන්න ලැබුණා. අනෙක් දෙදෙනා පමණක් අනතුර වූ ආපනශාලාවේ රැඳී සිට තිබෙනවා. පසුව මෙම අවාසනාවන්ත අනතුරට ඔවුන් දෙදෙනාම මුහුණ දීලා. ඒ අතරින් කථිකාචාර්යවරයාට දිවි අහිමි වුණා. ඔහු සමඟ සිටි අනික් යාළුවාගේ ජීවිතය වාසනාවකට වගේ බේරිලා තිබුණා, ඒත් ඔහු තුවාල ලැබුවා.
ළහිරු සමරකෝන් කියන්නේ උපතින්ම හැකියාවන් රැසක් සහිත පුද්ගලයෙක්. ඔහු කැරම් ක්‍රීඩාවෙන් සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ ලබා ගෙන තිබෙනවා. ඕනෑම මිනිස් රූපයක් එලෙසින්ම සිත්තම් කිරීමේ හැකියාව ඔහුට තිබුණා. අධ්‍යාපනය අතින් පාසලේ පළමු තැන ලබා ගත් දක්ෂ නිහතමානී පුද්ගලයෙක්.”
මෙම පස් කන්ද සහ ගල් පර්වතයෙන් යටවූ පිරිස මුදාගැනීමේ මෙහෙයුමෙන් මුලින්ම ගොඩගත්තේ කථිකාචාර්යවරයාවයි. ඔහු රෝහල වෙත ගෙන යන විටත් මෙලොව හැර ගොස් සිටියා. ඔහුව මුලින්ම හඳුනා ගැනීම සිදු කළේ මාවනැල්ල මූලික රෝහලේ සේවය කරන සුනේත්‍රා සමරකෝන් විසිනුයි. ඇයගේ බාප්පාගේ පුතණුවන් මෙලෙස දිවි අහිමි වූ බව ඇය පවුලේ සැමට එම අවස්ථාවේදී ඉතා සංවේගයෙන් දැනුම් දී තිබුණා. ඇය මාවනැල්ල රෝහලේ සේවයට යන අතරතුර උදෑසන සිය මල්ලී දැක කතා බහ කරලත් තිබුණා.
Gossip lanka news
