දුම්රිය වැරදුණ විභාග සිසුවියට දුම්රිය දෙකක් නවතා කළ උදව්ව
අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අලව්ව රාහුල මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානය වෙත යෑමට නියමිතව සිටි උසස් පෙළ සිසුවියක්, අත්වැරදීමකින් වෙනත් දුම්රියක නැගීම හේතුවෙන් මුහුණ දුන් අසරණ තත්ත්වයෙන් ඇයව මුදා ගැනීමට දුම්රිය නිලධාරීන් ඇතුළු පිරිසක් මැදිහත් වීමේ සංවේදී පුවතක් පසුගියදා වාර්තා විය. මෙවර පළමු වරට උසස් පෙළ විභාගයට පෙනී සිටින දහනව හැවිරිදි මෙම සිසුවිය
මීරිගම දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩවී ඇත්තේ අලව්ව බලා යෑමේ අරමුණෙනි. එහෙත් ඇය සෙනසුරාදා උදෑසන ගොඩවී ඇත්තේ කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රියට බැවින්, එම දුම්රිය අලව්ව දුම්රිය ස්ථානයේ නොනවත්වා ධාවනය වී තිබේ.
තමන් ගමන් ගත් දුම්රිය අලව්ව පසුකර යන බව දුටු සිසුවිය ඉන් දැඩි ලෙස කලබලයට සහ බියට පත්ව හඬමින් සිට ඇත.
එම අවස්ථාවේදී එම දුම්රියේම ගමන් ගත් ගිණුම්කරණ දේශකවරයකු වන සුරන්ජිත් රත්නපාල මහතා කලබල වී සිටි සිසුවිය දැක කරුණු විමසා ඇයව සන්සුන් කිරීමට පියවර ගෙන තිබේ. ඒ වන විට වේලාව උදෑසන 8.15ට පමණ ආසන්න වී තිබූ අතර සංඥා ලැබෙන තෙක් දුම්රිය පොල්ගහවෙලට ආසන්න ස්ථානයක නවත්වා තිබී ඇත. අවට සිටි මගීන් මුදල් එකතු කර සිසුවියට ලබා දී ත්‍රිරෝද රථයකින් යන ලෙස යෝජනා කළද, දුම්රිය නතර කර තිබූ ස්ථානයේ සිට ප්‍රධාන මාර්ගයට යෑමට කුඹුරක් මැදින් යා යුතු වීමත්, ඊට වැඩි කාලයක් ගතවන බවත් රත්නපාල මහතාට අවබෝධ වී තිබේ.
වහාම ක්‍රියාත්මක වූ සුරන්ජිත් මහතා දුම්රිය පාලක මැදිරියේ සේවය කරන තම විශ්වවිද්‍යාල මිතුරෙකු වන සජිත් වික්‍රමසිංහ මහතා දුරකථනයෙන් අමතා සිද්ධිය සැල කර ඇත. මනුෂ්‍යත්වය පෙරදැරිව රාජකාරියටත් එහා යමින් ක්‍රියා කළ දුම්රිය පාලක සජිත් වික්‍රමසිංහ මහතා, එම මොහොතේම පොල්ගහවෙල දුම්රිය ස්ථානාධිපතිවරයා අමතා මහනුවර සිට කොළඹ බලා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රිය පොල්ගහවෙල නවත්වා තබා ගැනීමට කටයුතු සලසා තිබේ.
ඒ අනුව සිසුවිය පැමිණි දුම්රිය පොල්ගහවෙලට ළඟා වූ වහාම, නවත්වා ගෙන සිටි අනෙක් දුම්රියට ඇයව ගොඩ කරවා ආපසු අලව්ව බලා පිටත් කර හැරීමට ඔවුන්ට හැකි විය. ඇය අලව්වෙන් බැසගත් පසු දුම්රිය ආරක්ෂක නිලධාරී නිමල් රූපසිංහ මහතා මැදිහත් වී ඇයව ආරක්ෂිතව ත්‍රිරෝද රථයකින් විභාග මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ. මෙම සද්ක්‍රියාව සාර්ථක කර ගැනීම සඳහා දුම්රිය පාලකවරුන්, ස්ථානාධිපතිවරුන්, රියදුරන්, නියාමකවරුන් මෙන්ම සිසුවියට උදව් කිරීමට ඉදිරිපත් වූ මගීන්ද දැක්වූ සහයෝගය මෙහිදී කාගේත් පැසසුමට ලක්ව ඇත.
gossip lanka news
