ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක ලක්ෂ ගණනක් මුදල් හො ර පාරේ අදී පරිස්සමෙන්
දිවයිනේ ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියට ඉතා සමාන අයුරින් නිර්මාණය කරන ලද ව්‍යාජ වෙබ් අඩවියක් භාවිත කරමින් රුපියල් ලක්ෂ දහයක මුදලක් වංචා කළ පුද්ගලයෙකු වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස නීතියේ රැහැනට කොටුවී ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විසි දෙහැවිරිදි තරුණයෙකි. විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇති ආකාරයට මෙම සැකකරු විසින් සිදුකර ඇති සමස්ත මූල්‍ය වංචාවේ වටිනාකම රුපියල් ලක්ෂ විසිහත ඉක්මවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කුරුණෑගල, ගොකරැල්ල ප්‍රදේශයේ පිහිටි ඖෂධ නිෂ්පාදන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු විසින් පසුගිය පෙබරවාරි මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
අදාළ පෞද්ගලික බැංකුවේ වෙබ් අඩවිය හරහා මුදල් ගනුදෙනුවක් සිදුකිරීමට උත්සාහ කිරීමේදී තම ජංගම දුරකථනයට ලැබුණු එක්වරක් පමණක් භාවිත කළ හැකි රහස්‍ය අංකය (OTP) අදාළ වෙබ් අඩවියට ඇතුළත් කර සුළු වේලාවකින් තමන්ගේ ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ දහයක මුදලක් වෙනත් ගිණුමකට බැරවී ඇති බව පැමිණිලිකරු විසින් පොලීසියට දැනුම් දී තිබුණි. ඒ සම්බන්ධයෙන් බැංකුවෙන් කළ විමසීමකදී ඔහුට අවබෝධ වී ඇත්තේ තමන් පිවිස ඇත්තේ සත්‍ය වෙබ් අඩවියට නොව බැංකුවේ වෙබ් අඩවිය ලෙස පෙනී සිටින ව්‍යාජ අඩවියකට බවයි.
වාරියපොළ පිහිටි වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව පැමිණිලිකරුගේ මුදල් බැරවූ ගිණුමේ හිමිකරු සොයාගැනීමට සමත් විය. අන්තර්ජාලය ආශ්රිත රැකියාවක නිරත වන බව පවසන සැකකරු පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ අදාළ ආයතනයේ උපදෙස් මත තමන් මෙම නව බැංකු ගිණුම ආරම්භ කළ බවයි.
එම ගිණුමට බැරවන මුදල් තම ජංගම දුරකථනයට ලැබෙන රහස්‍ය අංක මාර්ගයෙන් අදාළ ආයතනය විසින් වෙනත් ගිණුම් වෙත හරවා යවන බව ද ඔහු ප්‍රකාශ කර ඇත. එහෙත් ඔහු විසින් සිදුකරන බව කියන අන්තර්ජාල රැකියාව හෝ ඊට සම්බන්ධ ආයතනය පිළිබඳව කිසිදු නිවැරදි තොරතුරක් පොලීසියට ලබාදීමට සැකකරු අපොහොසත් වී තිබේ.
සැකකරුගේ ප්‍රකාශ අනුව මෙම මූල්‍ය ජාවාරමට සම්බන්ධ තවත් පාර්ශ්වයන් සොයා මේ වනවිටත් පරීක්ෂණ ක්‍රියාත්මක ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ උපදෙස් මත වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මලීෂ හේරත් සහ විමර්ශන නිලධාරී පොලිස් කොස්තාපල් (93508) කුලසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබති.
gossip lanka news
