රංගගේ ම රණය සිදුවුනේ කෙසේද? ම රණයෙන් සැඟව ගියේ කවරක්ද?
මුදල් අමාත්‍යාංශයට අයත් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට රහසිගතව ඇතුළු වූ අන්තර්ජාතික සයිබර් හැකර්වරුන් පිරිසක් විසින් ඕස්ට්‍රේලියාවට ගෙවීමට නියමිතව තිබූ ඩොලර් ලක්ෂ 25ක ණය කොල්ලකා තිබීමෙ සිද්ධිය ‘තාක්ෂණික වංචාවක්’ ලෙස නම් කර තිබුණි. මෙම දැවැන්ත මුදල අහිමි වීමෙන් පසු නියෝජ්‍ය අධ්යක්ෂවරුන් දෙදෙනෙකු, අධ්යක්ෂවරුන් දෙදෙනෙකු සහ පරිගණක අංශයේ ප්‍රධානියෙකුගේ වැඩ තහනම් කර අභ්‍යන්තර පරීක්ෂණයක් ක්‍රියාත්මක කෙරෙමින් පැවතුණ අතර සිද්ධිය ආන්දෝලනයට තුඩුදුන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනම පරීක්ෂණයක් අරඹා තිබුණි.
කුලියාපිටිය, පහළ වීරඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි රංග රාජපක්ෂ දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.ඔහු මෙම සිදුවීමට සම්බන්ධවීම නිසා වැඩ තහනමට ලක්වන්නේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකු වීම නිසාය. ඔහු මෙම ‘තාක්ෂණික වංචාව’ සම්බන්ධයෙන් මේ දක්වා සාක්ෂි ලබාදීමෙන් වැළකී සිටි බවත් පැමිණ සාක්ෂි ලබාදෙන්නැයි දැන්වූ අවස්ථා දෙකකදී පොලිසිය මගහැරිය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද (30) ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් හිටපු ආණ්ඩු කාර රජිත කීර්ති තෙන්නකෝන් සමාජගත කර ඇති කරුණු අනුව මෙම වංචාව ගැන මුල් පැමිණිල්ල කර තිබෙන්නේ මොහුය. මුල් පැමිණිල්ල කළ කෙනා සීඅයිඩිය මගහැරීම පරස්පර තත්වයකි.
රංග රාජපක්ෂ මහතා පදිංචිව සිට ඇත්තේ කුලියාපිටිය, පහළ වීරඹුව ප්රදේශයේය. වැඩ තහනම නිසා නිවසේ සිටි ඔහු අද (අප්‍රේල් 30) පෙරවරු 10.00ට පමණ ඔහු ‘වත්ත පහළ වැඩක් ඇති’ බව නිවැසියන්ට පවසා ගොස් ඇති බවත්, පසුව ඔහු නිවසට නොපැමිණි නිසා එහි ගොස් බලන විට ඔහු කෙසෙල් පඳුරක් අසල වැටී සිටින අයුරු නිවැසියන් දැක ඇති බවත් ප්‍රාදේශීය වාර්තා මගින් සනාථ කර තිබේ. ඔහු වැටී සිටි ස්ථානයේ තිබී පිහියක් ද සොයාගෙන තිබි ඇති අතර ඔහු සිය බල නහර කපාගන්නට එම පිහිය භාවිත කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලින් හෙළිව ඇත. මෙය ‘අභිරහස් ඝාතනයක්’ විය හැකි බවට දෙරණ මාධ්‍ය ජාලය වාර්තා කර ඇතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එය ඝාතනයක් යයි පවසන්නට තවම ඉක්මණ්වී නැත. එය බොහෝ දුරට සියදිවිනසාගැන්මක් බව පෙන්නුම් කර ඇති අතර එම ස්ථානයේ ස්ථානීය පරීක්ෂාව සඳහා කුලියාපිටිය වැඩබලන මහේත්‍රාත් කාංචනා රූපසිංහ සහ අධිකරණ වෛද්‍ය නිලධාරී බී.ඒ.සී. බාලසූරිය පැමිණ සාක්ෂි රැස්කරගෙන ගොස් තිබුණි.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අයත් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට රහසිගතව ඇතුළු වූ අන්තර්ජාතික සයිබර් හැකර්වරුන් පිරිසක් විසින් ඕස්ට්‍රේලියාවට ගෙවීමට නියමිතව තිබූ ඩොලර් ලක්ෂ 25ක ණය වාරිකයක් තුන්වන පාර්ශ්වයක් වෙත හරවා යවා කොල්ලකා තිබූ බව අමාතයංශය නිල වශයෙන් නිවේදනය කර තවම සති කිහිපයක් ගතවී නැත. කෙසේ වෙතත් කොල්ලය සිදුව ඇත්තේ මීට මාස කිහිපයකට පෙරය. නියෝජ්‍ය අධ්යක්ෂවරුන් දෙදෙනෙකු, අධ්යක්ෂවරුන් දෙදෙනෙකු සහ පරිගණක අංශයේ ප්‍රධානියෙකුගේ වැඩ තහනම් කරද්දී මෙම ක්‍රියාවලියට අදාළ සැකයක් මේ අය වෙතද යොමුවීම සාධාරණය. කිසියම් අයෙකුගේ උවමනාවට මෙම නිලධාරීන් කොල්ලයක් සිදුකරන්නට උදව් කර ඇති බවක් හා එය හැකරුන් පිට පැටවීමක් ගැන සැකය ඇති කර තිබුණි.
සිද්ධියේ බරපතළකම සලකා බලා මේ පිළිබඳව වහාම සොයා බැලීමට මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරුන් සභාපතිත්වයෙන් යුත් විශේෂ තාක්ෂණික කමිටුවක් සහ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව නීති කටයුතු දෙපාර්තමේන්තුව සහ තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව විමර්ශන කරන අතරවාරයේ පොලිස් පරිගණක අපරාධ විමර්ශන අංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විමර්ශන කටයුතු කරමින් සිටියදී රංගගේ ජීවිතය මෙලෙස අහිමි විය.
ඔහුගේ මරණය සමග සාක්ෂි සැඟවීමේ උවමනාවක් පෙනෙන්නට තිබේ.
රජිත කීර්ති තෙන්නකෝන් රංග ගැන තබා ඇති සටහන පහත පරිදිය.
“භාණ්ඩාගාර මංකොල්ලය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි ලංකා සැලසුම් සේවයේ – විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ රංග නිශාන්ත (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය) අද දින අභිරහස්අ ලෙස අවසන් ගමන් ගොස් ඇත. භාණ්ඩාගාර මංකොල්ලය ගැන පළමු පැමිණිල්ල පොලීසියට ඉදිරිපත් කරන ලද්දේ රංග රාජපක්ෂ විසිනි. ඔහු විශ්වවිද්‍යාල සමයේ අන්තරයේ ප්රබලයෙකු ලෙස කටයුතු කළ අතර නොවෙනස් සමාජවාදී දේශපාලන මතයක් වෙනුවෙන් පෙනී සිටි අයෙකි. ප්‍රිය මනාප සිය වගකීම ඉටු කිරීමට කැප වූ අයෙකු ලෙස ඇගයීමට ලක් වූ අයෙකි.”
සුජිත් නමැති රංගගේ හිතවතෙකු අද (30) සවස තබා ඇති සටහනක් පහත පරිදිය.
රංග අයියා….. රංග අයියා – ජපුරෙ අපේ ජේෂ්ඨ සහෝදරයා යන්නම ගිහින්. එයාගෙ මරණෙ ගැන විවිධ කතා යනවා.මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්යක්ෂ වරයෙක් වූ රංග පසුගිය දිනවල මුදල් අමාත්‍යාංශයේ සිදුවූ ගිණුම් හැක්කර සිදුකල මුදල් වංචාව සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව ඉඳලා තියනවා. අපි දන්න රංග කියන්නෙ බොහොම අවංක නිහඬව තමන්ගෙ වගකීම් ඉටුකරපු මිනිහෙක්. සාමාන්‍යයෙන් අපි චරිත සහතික දෙන්න එච්චර කැමති නෑ. ඒත් අපි හොඳටම දන්න අත්දැකීම නොකීවොත් ඒක එයාට කරන අසාධාරණයක්. “රස්සාවනං නැතිවුනත් කමක් නෑ. මම වංචාකාරයෙක් කියලා හංවඩු ගැහෙන එක තමයි දරාගන්න අමාරු” කියලා එයා සමීප මිතුරන්ටත් පසුගිය දිනවල කියලා තියනවා කියලා ආරංචියි.
ශිෂ්‍ය ව්‍යාපාරෙ වැඩ කරපු කාලෙ එයාව ඇසුරු කරපු බොහෝ දෙනෙක් දන්න අත්දැකීම තමයි රංග කියන්නෙ රුපියලක් වත් වංචා කරන මිනිහෙක් නෙමෙයි කියන එක. ඒක වත්මන් ආණ්ඩුවෙ ප්‍රබලයොත් දන්නවා ඇති. එහෙමනම් මේ හැකර් වංචාවට රංග වැඩ තහනමට ලක් වුනාට ඒකෙ ඇත්ත චූදිතයො රංග නොවන වෙනත් අය විය හැකියි. කොහොම උනත් අපි දන්න රංගට මේක මහා මානසික පීඩනයක් නම් වෙන්න ඇති. ආදරණීය රංග අයියා….. තමුසෙ ඔහොම යන්න ඕනෙ මිනිහෙක් නෙමෙයි. තමුසෙට අපේ ආදරය සහ ආචාරය!
