පොලීසියේ පහළ නිළධාරින් මෙන්ම ස්ථානිධිපතිවරුනුත් මහ මග රාජකාරිවලට යොදවයි ස්ථානාධිපතිවරුන් දැඩි ආතතියට
මැතිවරණ රාජකාරි අතරේ පොලිස් ස්ථානාධිපතිවරුන්ට සතියේ දවස් පහම උදෑසන 6.30 සිට රථවාහන අධිපැය රාජකාරි ලෙස මහමග රැඳී සිටින ලෙසටත්, කසිප්පු වැටලීම් ඇතුළු පහළ ශ්‍රේණියේ නිලධාරීන් කරන සියලු රාජකාරි කරන ලෙසටත් පොලිස් මූලස්ථානය නිකුත් කළ චක්‍රලේඛයක් නිසා ස්ථානාධිපතිවරුන් දැඩි ආතතියට පත්ව ඇතැයි වාර්තා වේ.
පරීක්ෂණ ශ්‍රේණියේ නිලධාරීන් ඇතුළු පහළ ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් සේවය ලබාගැනීම හා පොලිසිය පාලනය කිරීම ස්ථානාධිපතිගේ රාජකාරිය වුවද හදිසියේම එවූ මෙම චක්‍රලේඛය නිසා නිලධාරීහු අපහසුතාවට ලක්ව සිටිති.
පාන්දර සිට මහමග රාජකාරි සඳහා ස්ථානාධිපතිවරුන් එක්වූවාද යන්න නිරීක්ෂණය කිරීමේ වගකීම සහකාර පොලිස් අධිකාරීවරුන්ට පවරා තිබේ.
පොලිස් ස්ථානාධිපතිවරුන්ට මාසික කාර්ය සාධක වාර්තා සකස් කිරීම සඳහා වරෙන්තුකරුවන් ඇල්ලීමට යාම, ප්‍රජා පොලිස් කාර්යයන්, රථවාහන පාලන කාර්යයන්, ආගමික උත්සව, දූෂණ මර්දන වැටලීම්, භෝජනාගාර පරීක්ෂාව ඇතුළු කාර්යයන් රැසක් සඳහා එක්වීමට නියෝග කර ඇත.
පොලිස් ස්ථානාධිපතිවරුන් සෑම මාසයකට සැරයක්ම සහකාර පොලිස් අධිකාරිගේ නිර්දේශය ඇතිව මාසික කාර්ය සාධන වාර්තාව පොලිස්පතිවරයාට යොමුකළ යුතුය.
පොලිසියේ පොත් ටික කියවාගන්න වේලාවක්වත් මේ නිසා නොමැති බවත්, පොලිස් ස්ථානාධිපතිවරුන් බහුතරයක් මෙම නියෝගය නිසා අපහසුතාවට පත්ව ඇති බවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පෙන්වා දෙති.