අම්බලන්ගොඩ අඹුසැමි යුවළ වෙ ඩි තබා ම රා දමයි
අම්බලන්ගොඩ පොලිස් වසමේ ඌරවත්ත ප්‍රදේශයේ දී යතුරුපැදියකින් යමින් සිටි අඹු – සැමි යුවළකට නාඳුනන දෙදෙනකු විසින් ඊයේ (10) පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කර පලාගොස් ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි. මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ එච්.වයි. රන්ජන් (47) හා ඔහුගේ බිරිය නාමල් මල්ලිකා (50) යන අයයි. මියගිය දෙපළ දරුවන් තිදෙනකුගේ මව්පියන් වන අතර, ඔවුන් දෙදෙනා මත්ද්‍රව්‍ය චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව පැමිණි අය බව ද පොලීසිය සඳහන් කරයි. මොවුන් දෙදෙනා අම්බලන්ගොඩ සිට මාදම්පේ උස්මුදලාවේ පිහිටි තම නිෙවස දක්වා යතුරුපැදියෙන් යමින් සිටිය දී ඔවුන් පිටුපසින් ආ යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇතැයි පොලීසිය කියයි. සැකකරුවන් මෙම ඝාතනය සඳහා ටී පනස්හය වර්ගයේ ගිනි අවියක් යොදා ගෙන ඇති බවට අනාවරණය වූ බව ද පොලීසිය සඳහන් කරයි. සැකකරුවන් වෙඩි පහර කීපයක්ම මරණකරුවන් ඉලක්ක කර එල්ල කර ඇති අතර ඔවුන් එම ස්ථානයේදීම මියගොස් ඇති බවත් ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් පොලීසිය කියයි.
මරණකරුවන්ගේ ඥාතියකු මින් වසරකට ඉහත දී කුලීගොඩ, ගලගොඩ ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කර ඇති බවත් එම ඝාතනයට මෙම වෙඩිතැබීම සම්බන්ධදැයි පරීක්ෂණ පවත්වන බවත් පොලීසිය කියයි. බලපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් සමන්ත ආබ්‍රේව් මහතා ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය කළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බලපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට මියගිය අයගේ සිරුරු ඉදිරිපත් කරන ලෙසත් වැඩ බලන මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කරන ලදී.
කරන්දෙනිය සමූහ – අනුරාධ ප්‍රියදර්ශන
– Dinamina