කොල්ලෝ යන්න හීන දකින දකුණු කොරියාව ඇ විලෙයි රට පුරා වි රෝධතා අරඹයි.
රට තුළ දේශපාලන සහ පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් සියල්ල තහනම් කරමින් රටට හමුදා නීතිය පැනවීමට දකුණු කොරියානු ජනාධිපතිවරයා ගත් තීන්දුව ඔහු විසින්ම හකුලාගෙන තිබේ.
ඒ ඊට එරෙහිව එරට පාර්ලිමේන්තුව විසින් ගෙන ආ යෝජනාවක් සම්මත වීමෙන් අනතුරුවය.
උතුරු කොරියාවේ කොමියුනිස්ට් බලවේග මගින් ඇතිවිය හැකි ආපදාවලින් රට ආරක්ෂා කිරීම සඳහා රටට හමුදා නීතිය පනවන බව දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් හදිසියේ නිවේදනය කළේ ඊයේ (03) රාත්‍රියේ දීය.
ඒ යටතේ රට තුළ සියලු දේශපාලන සහ පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් තහනම් කෙරුණු අතර, වරෙන්තු නොමැතිව ඕනෑම අයෙක් අත්අඩංගුවට ගැනීමේ බලයද හමුදාව වෙත පැවරුණි.
එමෙන්ම ඉන් භාෂණයේ නිදහසද සීමා කෙරුණු අතර, මාධ්‍ය සඳහා ද දැඩි නීති පැනවීය.
මේ සමගින් එරට සෝල් හි පිහිටි පාර්ලිමේන්තුවට පිවිසීම අවහිර කරමින් හමුදාව ඒ වටා ස්ථානගත කෙරුණේ, විපක්ෂයේ සහ මහජනතාවගේ ප්‍රබල විරෝධය මධ්‍යයේ දීය.
එම අවස්ථාවේදී හමුදා සෙබළු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළුවී තිබුණි.
පුවත සැලවීමත් සමග විපක්ෂ දේශපාලනඥයින් මෙන්ම ආධාරකරුවන් ඊයේ රාත්‍රියේම පාර්ලිමේන්තුව අවට රැස්වී ජනාධිපතිවරයාට බලකර සිටියේ මෙම නීතිවිරෝධී හමුදා නීතිය වහාම ඉවත් කරන ලෙසය.
එමෙන්ම පාලක පක්ෂයේ ඇතැම් නියෝජිතයන් මෙන්ම ආධාරකරුවන් රැසක් ද ඊට සහාය දැක්වීමට එක්ව සිටියේය.
එහිදී දකුණු කොරියානු විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු තාප්පයෙන් පැන එම පරිශ්‍රයට පිවිසුණ අයුරුද දැකගත හැකි විය.
ඉන්පසුව මන්ත්‍රීවරුන් හමුදා අණ නොතකා බලහත්කාරයෙන් පාර්ලිමේන්තු ගර්භයට පිවිසුණේ හමුදා නීතිය ප්‍රකාශයට පත්කිරීම බලරහිත කිරීමේ යෝජනාවකට ඡන්දය භාවිත කිරීම සඳහාය.
පාර්ලිමේන්තුවේ නීති සම්පාදකයින් එහිදී හමුදා නීතිය ඉවත්කිරීමට අදාළ යෝජනාවක් සම්මත කරගනු ලැබීය.
ඊට පක්ෂව 190 දෙනෙකු ඡන්දය ලබාදී තිබිණි.
ඒ අතර පාලක පක්ෂය නියෝජනය කරන 18දෙනෙකු සිටීම විශේෂත්වයක්ය.
පවතින තත්ත්වය සලකා තමන් විසින්ම පැනවූ හමුදා නීතිය ඉවත්කිරීමට ජනාධිපති යුන් සුක් යෝල්ට සිදුවුණේ ඉන් අනතුරුවය.
කෙසේවෙතත් වහාම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ජනාධිපතිවරයාට බලකරමින් ඊයේ රාත්‍රියේ එරට ආරම්භ වූ විරෝධතා තවදුරටත් ක්‍රියාත්මකව පවතී.
උතුරු කොරියානු තර්ජන සලකා හමුදා නීතිය පැනවූ බවට ජනාධිපති යුන් සුක් යෝල් පැවසුවද, මෙය ඔහුට එරෙහිව රට තුළින්ම මතුව ඇති දේශපාලන විරෝධතා සමනය කරගැනීම සඳහා ගත් පියවරක් බව බොහෝ පාර්ශ්ව පෙන්වාදෙයි.
මේ අතර එරට විපක්ෂය අද ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් සභාගත කළ අතර එය පැය 72ක් තුළ ඡන්දයට ගැනීම ඔවුන්ගේ සැලසුම බව වාර්තා වේ.
දකුණු කොරියාව ප්රජාතන්ත්රවාදී දේශපාලනයට පිවිසි 1987 වසරේ සිට ඊයේ දක්වා රටට හමුදා නීතිය පැනවූ පළමු අවස්ථාව මෙය වේ.
මේ අතර මෙම සිද්ධිය මුල්කරගෙන චෝදනාවට ලක්වූ දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වී ඇතත් එල්ලවන චෝදනාවලට ජනාධිපතිවරයා මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.
අද දෙරණ