කොණ්ඩයයි රැවුලයි ඩයි කළ තරුණයා පැයෙන් අවසන් ගමන් ගිහින්
හඳපානාගල ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක කොණ්ඩය හා රැවුල ඩයි කිරීමෙන් පැයකට පමණ පසු ඇතිවූ පපුවේ වේදනාවක් හේතුවෙන් රෝහල්ගත කළ 37 හැවිරිදි පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් බදුල්ල අධිකරණ වෛද්‍ය ඩබ්.ඒ.සී. ලක්මාලි මහත්මිය විවෘත තීන්දුවක් ලබා දුන්නාය.
සිද්ධිය සිදු වූ පසුගියදා (24) උදෑසන 10.00ට පමණ හඳපානාගල, ඇතාදුටුවැව ලිපිනයේ පදිංචි 37 හැවිරිදි ගීගන ගමගේ චානක ඉඳුනිල් නමැත්තා හඳපානාගල ප්‍රදේශයේ පිහිටි කොණ්ඩා කපන ස්ථානයකට ගොස් ඇති අතර, එහිදී ඔහු කොණ්ඩය හා රැවුල කපා ඩයි කිරීමක් ද සිදු කරගෙන තිබේ. අනතුරුව දහවල් 12.00ට පමණ මුහුණේ දැවිල්ලක් ද පපුවේ වේදනාවක් ද ඇති වී “ඉක්මනින් රෝහලට යමු” යැයි සිය බිරියට පවසා ඇත. බිරිය ඇයගේ යතුරුපැදියෙන් වහාම සැමියාව හඳපානාගල ග්‍රාමීය රෝහලට රැගෙනවිත් ඇති අතර, එහිදී වෛද්‍යවරුන් මූලික ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව මෙම පුද්ගලයාව ගිලන්රථයකින් වැල්ලවාය මූලික රෝහලට එවා තිබේ. වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇත.
මෙම මරණය සම්බන්ධයෙන් වැල්ලවාය හදිසි මරණ පරීක්ෂක එච්.එම්.ජේ. හේරත් මහතාගේ දැනුම්දීමකට අනුව වැඩිදුර විමර්ශනය සඳහා
බදුල්ල විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩබ්.ඒ.සී. ලක්මාලි, වැල්ලවාය අධිකරණ වෛද්‍ය රොෂාන් හේවාවිතාරණ, වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජේ.එම්. විමලසූරිය යන මහත්ම මහත්මීහු එම කොණ්ඩා කපන ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදු කළහ. එහිදී ඩයි කිරීමට යොදා ගත් ඩයි වර්ග සහිත ආලේපන වැඩිදුර විමර්ශන සඳහා ලබා ගන්නා ලෙස විශේෂඥ වෛද්‍යවරිය වැල්ලවාය පොලීසිය වෙත උපදෙස් ලබා දුන් අතර,
මරණයට අදාළ හදිසි මරණ පරීක්ෂණය වැල්ලවාය හදිසි මරණ පරීක්ෂක එච්.එම්.ජේ. හේරත් මහතා විසින් සිදු කරන ලදි.
පශ්චාත් මරණ පරීක්ෂණය හා විශේෂඥ අධිකරණය වෛද්‍ය පරීක්ෂණය වැල්ලවාය මහ රෝහලේ මෘත ශරීරාරයේදී බදුල්ල විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩබ්.ඒ.සී. ලක්මාලි, වැල්ලවාය අධිකරණ වෛද්‍ය රොෂාන් හේවාවිතාරණ යන මහත්ම මහත්මීන් විසින් සිදු කරන ලදුව විවෘත තීන්දුවකින් අනතුරුව මරණය ඥාතීන් වෙත නිදහස් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වැල්ලවාය පොලීසිය සිදු කරයි.
(වැල්ලවාය ජී.අයි.ආර්. ගරුසිංහ)
gossip lanka news