චාමික පීතෘත්වය ප්‍රතික්ෂේප කරයි – ඩී එන් ඒ පරීක්ශනයටත් බෑ කියයි
ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න රුපියල් ලක්ෂ 10ක පෞද්ගලික ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ, ගුවන් නියමුවරියක බව කියන සෙව්වන්දි සේනාරත්න නම් අය ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.
පැමිණිලිකාරිය සඳහන් කරන්නේ, වගඋත්තරකාර චාමික කරුණාරත්න සහ තමන් ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස තමන්ට දරුවෙකු සිටින බවයි.
එමෙන්ම දරුවාගේ පීතෘභාවය භාර ගැනීම වග උත්තරකරු ප්‍රතික්ෂේප කර තිබෙන බවත් පැමිණිලිකාරිය සඳහන් කරනවා.
ඒ අනුව, දරුවාගේ පිතෘභාවය සම්බන්ධයෙන් නියෝගයක් ලබා දෙන ලෙසත්, ඒ බව තහවුරු කිරීමට අවශ්‍ය DNA පරීක්ෂණයක් පැවැත්වීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිකාරිය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
මෙම පැමිණිල්ලට අදාළ නඩුව අද (දෙසැම්බර් 08) කොළඹ මහේස්ත්‍රාත් කසුන් දිසානායක ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජෙරුෂා තම්බයියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වග උත්තරකරු තම සේවාදායිකාව සමග පැවැත්වූ සම්බන්ධතාවකින් අනතුරුව දරුවෙකු උපන් බව සඳහන් කළා.
එමෙන්ම දරුවාගේ පීතෘභාවය භාර ගැනීම වග උත්තරකරු ප්‍රතික්ෂේප කර තිබෙන බවත්, ඒ අනුව දරුවාගේ පීතෘභාවය තහවුරු කර ගැනීම සඳහා DNA පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එහිදී නීතිඥවරිය සඳහන් කර සිටියේ, අභියාචනාධිකරණය මීට පෙර දී තිබෙන නඩු තීන්දුවක පූර්වාදර්ශයට අනුව එවැනි DNA පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය නියෝග නිකුත් කිරීමට මහේස්ත්රාත්වරයාට බලය තිබෙන බවයි.
එම ඉල්ලීමට වගඋත්තරකාර චාමික කරුණාරත්න වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල රැකව තරයේ විරෝධය පළ කරමින් අවධාරණය කර සිටියේ, සිය සේවාදායකයා අදාළ දරුවාගේ පීතෘභාවය ප්‍රතික්ෂේප කරන බවයි.
එම දරුවා ලැබුණු බව කියන කාල සීමාව තුළදී පැමිණිලිකාර පාර්ශ්වය ඉන්දීය ජාතික තරුණයෙකු සමග සම්බන්ධතාවක් පවත්වා ඇති බව සඳහන් කළ නීතිඥවරයා, ඒ බව තහවුරු කෙරෙන ඡායාරූපයක් ද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
එමෙන්ම සිය සේවාදායකයා පැමිණිලිකාරියගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන අතර, DNA පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග නිකුත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් නීතිඥවරයා සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නීතිඥ අසේල රැකව පෙන්වා දුන්නේ, පැමිණිලිකාරිය සිය සේවාදායකයාට චෝදනා එල්ල කරන්නේ නම් එය ඔප්පු කරනු ලැබිය යුත්තේ ඇය විසින් ම බවයි.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා වග උත්තරකාර චාමික කරුණාරත්න රුපියල් ලක්ෂ 10ක පෞද්ගලික ඇපයක් මත මුදා හැරීමට නියම කළ අතර නඩුව ජනවාරි මස 30 වන දා කැඳවන ලෙස නියෝග කළා.
