සෙනග පිරුන බස් එකේ තෙරපී යනකොට ජැක් ගැසුවා කියා කල චෝදනාවෙන් ලැජ්ජාවට පත් තරුණයා ගත් තීරණය
සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්රයෙන් හුවමාරු වූ වීඩියෝවක් හේතුවෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 42 හැවිරිදි පුද්ගලයෙකු සිය දිවි හානි කර ගැනීමේ ශෝකජනක පුවතක් වාර්තා වෙනවා.
කාන්තාවක් විසින් බස් රථයක් තුළදී තමාට අනිසි ලෙස හැසිරුණු බවට චෝදනා කරමින් පටිගත කරන ලද වීඩියෝවක් අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධ වීමත් සමඟ මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
පොලිස් වාර්තා වලට අනුව මියගිය පුද්ගලයා ගෝවින්දපුරම් ප්‍රදේශයේ පදිංචි දීපක් නම් අයෙකු බව හඳුනාගෙන ඇති අතර ඉරිදා උදෑසන ඔහුගේ නිවසේ කාමරයක් තුළදී මෙම මරණය සිදුව ඇත.
ඉරිදා උදෑසන 7ට පමණ දීපක්ගේ දෙමාපියන් ඔහු අවදි කිරීමට උත්සාහ කළද කාමරය තුළින් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති අතර, දිගින් දිගටම දොරට තට්ටු කළද ප්‍රතිචාරයක් නොමැති වූ තැන අසල්වාසීන්ගේ සහාය ඇතිව දොර කඩා කාමරයට ඇතුළු වී තිබේ.
එහිදී දීපක් ගෙල වැලලාගෙන මියගොස් සිටියදී හමු වී ඇති අතර එම දසුන පවුලේ ඥාතීන් මෙන්ම අසල්වාසීන්ද දැඩි කම්පනයට පත් කර ඇත.
අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබා දී ඇති අතර මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර තිබේ.
මෙම ඛේදවාචකයට ආසන්නතම හේතුව වී ඇත්තේ සමාජ මාධ්‍ය තුළ වයිරල් වූ වීඩියෝවක් බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, තදබදයක් සහිත බස් රථයක ගමන් කරමින් සිටියදී අදාළ පුද්ගලයා තමාට (ජැක් ගසනවා යයි කියන) අනිසි බලපෑමක් කළ බවට කාන්තාවක් එම වීඩියෝව මගින් චෝදනා කර තිබුණි.
පයියානූර් දුම්රිය ස්ථානයේ සිට බස් නැවතුම්පොළ දක්වා ගමන් කරන අතරතුර මෙම දර්ශන පටිගත කර ඇති බවත්, එය අන්තර්ජාලයට මුදා හැරීමෙන් පසු ලක්ෂ 20කට (මිලියන 2කට) අධික වාර ගණනක් නරඹා තිබූ බවත් වාර්තා වේ.
වීඩියෝව ප්‍රසිද්ධ වීමත් සමඟ සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් මියගිය පුද්ගලයාට එරෙහිව දැඩි විවේචන සහ අපහාස එල්ල වී තිබේ.
අදාළ වීඩියෝව වයිරල් වීමත් සමඟ දීපක් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටි බව ඔහුගේ දෙමාපියන් සහ ඥාතීන් සඳහන් කරයි.
උපුටාගැනීම: හිරුගොසිප්
