බයිසිකලේ අරන් දවස් තුන හතරකට වැඩි නෑ
“බණ ගෙදරක යනවා කියලා ගෙදරින් ගිය පුතා තමයි අද මේ විදිහට පෙට්ටියකින් ආපහු ආවේ. එයා ඔය බයිසිකලේ අරගෙන දවස් තුන හතරකට වඩා නෑ” යැයි ඩී.එම්. ධර්මලතා (40) මහත්මිය හඩා වැළපුණේ යතුරුපැදි අනතුරකින් සදහටම දෙනෙත් පියා ගත් සිය එකම පුතුගේ වියෝව දරාගත නොහැකිවයි.
ගුරුගොඩ, මිවනපලාන, කොළඹයාහේන, පදිංචි ධර්මතා මහත්මියට සිටි දරුවන් තිදෙනාගෙන් දෙවන දරුවා වූයේ සසිදු දෙව්මිත් ප්‍රසංසන පුතුයි.
තවමත් 17 හැවිරිදි වියේ පසුවන සසිදු 21 හැවිරිදි හා 07 හැවිරිදි සහෝදරියන් දෙදෙනාට මැදිව හැදී වැඩුණේ කාගේත් ආදරය දිනා ගනිමින්.
බුත්තල ප්‍රදේශයේ සිට ධර්මලතා මහත්මිය හොරණ ප්‍රදේශයට පැමිණ ඇත්තේ සසිඳු පහ වසර පන්තියේ ඉගෙනුම ලබන කාලයේදීයි. හොරණ ගුරුගොඩ ප්‍රදේශයේ ප්‍රධාන ඇඟලුම් ආයතනයක ඇය විසින් රැකියාවක් සොයා ගැනීමට කටයුතු කළේ ඉන් පසුවයි.
පොකුණුවිට සිරිමෙවන් විද්‍යාලයෙන් 11 වසර දක්වා අධ්‍යාපනය ලබා ඇති සසිදු පාසල් ගමට තිත තැබුවේ කිසිවෙකුටත් බරක් නොවී රැකියාවක් කිරීමේ බලාපොරොත්තුවෙන්.
මේ වන විට මීවනපලාන ප්‍රදේශයේ වාහන අලුත් වැඩියා කරන ආයතනයක රැකියාව කරන සසිදු මිතුරන් අතර ජනප්‍රිය චරිතයක්.
යතුරුපැදි රේස් පැඳීමට ආසාවක් දැක්වූ ඔහු පසුගිය 16 දා රාත්‍රියේ ද මිතුරෙකු සමඟ යතුරුපැදි රේස් එකකට සහභාගි වූයේ හා හා පුරා කියා මිලදී ගත් බලපත්‍රයක්වත් නොමැති බයිසිකලයෙන් පදින අවසාන රේස් එක මෙය යැයි නොසිතා වන්නට ඇත.
කෙසේ වුවත් ඔහුට සිදුවූයේ සියල්ලම අතරදා සමු ගැනීමටයි.
හොරණ, ඉංගිරිය ප්‍රධාන මාර්ගයේ දි මිතුරෙකු සමග යතුරුපැදි ධාවනයේ යෙදුණු ඔහු ඉලිඹ හංදියේදී තරඟය නිමා කළේ යතුරුපැදි දෙකම එකම මෝටර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් වීම ශොචනීයයි.
පසුගිය 16 දා සවස යතුරුපැදියට ඔහු නැගුනේ ඉලිඹ, කටුගහේන ප්‍රදේශයේ පදිංචි මිතුරෙකුගේ බණ ගෙදරකට සහභාගී වීමට මිස මේ අන්දමට ආපසු නිවෙසට පැමිණීමට නම් නොවේ. එහෙත් සිදු වූයේ කිසිවෙකුටත් අදහා ගත නොහැකි සිදුවීමක්. මිතුරන් පිරිස එකතුව තරගයට රේස් පැදීමට සූදානම් වූයේ වෙනත් දිනවලත් ඔවුන් එකතු වූ විට මාර්ගයේ මෙලෙස විනෝද වන නිසායි.
මෙම සිද්ධිය පිළිබඳ නම ගම හෙළි කිරීමට අකමැති ඉලිඹ හන්දියේ පදිංචිකරුවෙක් පැවසුවේ මෙවැන්නක්.
“මම හිටියෙ ගෙදර නිදාගෙන. 11.00 ට විතර පාර පැත්තෙන් මහ විශාල සද්දයක් ඇහිල මම ගැස්සිලා ඇහැරුණා. ඒ ගමන ඇවිත් බලන කොට වාහන කෑලි සුන්බුන් පාර පුරාම සීසීකඩ තිබුණා. එක්කෙනෙක් හන්දිය කිට්ටුව වැටිලා හිටියා. අනිත් ළමය උඩින් ගිහින් අඩි දහයක් පහළොවක් ඈතින් හොරණ පැත්තට වෙන්න වැටිලා හිටියා. දෙන්නම හැපිලා තිබුණේ ඉලිඹ ගඟ පාරට හරවන්න ගිය කාර් එකක. ලයිට් තිබිලත් නෑ. කොහොමත් සැරින් සැරේ රෑට රංචුව දහයක් පහලොවක් එකතු වෙලා ඔය රේස් එක තියෙනවා.
බයිසිකලයේ පොත ඔට්ටුවට තියෙනවා. එහෙම නැත්නම් සල්ලිවලට පදිනවා. හොරණ, පොකුණුවිට, ගුරුගොඩ වගේ හැමතැනින්ම එකතු වෙච්ච කොල්ලො කට්ටියක් තමයි මෙහෙම රේස් පදින්නෙ. සමහරදාට මං නින්දෙන් හැරෙන්නෙ ඔන්න දැන් හැප්පුනා තමයි කියලා හිතාගෙන. බ්‍රාම් බ්‍රාම් කියල හෝන් ගගහා රෑට ඔය රේස් එක යනකොට අහල පහල කාටවත් නිදාගන්නත් නෑ. හරි කරදරේ. මෙතන පාර කෙලින් හින්දා ඇත්ගාල කන්ද උඩ ඉඳන් මීටර් දෙසීයක් විතර දුරට ඉලිඹ හන්දියෙ කහ ඉර ළඟට තමයි ඔය රේස් එක තියන්නේ.
දිනන කෙනා හරියටම හොයාගන්න වීඩියෝ කර කරත් ඇවිත් තියෙනවා. කොහොමත් දහයක පහළොවක විතර කට්ටියක් තමයි එදා ඉඳලා එකතු වෙලා තියෙන්නේ. ඒත් හැප්පුනාට පස්සේ එක යාළුවෙක්වත් හිටියෙ නෑ බේතකට හොයාගන්න මෙතන. අහල පහල කට්ටිය හතළිහක් පනහක් එකතුවෙලා තමයි තුවාලකාරයෝ ඉස්පිරිතාලෙට ගෙනියන්න උදව් කලේ. ඒ වෙලාවේ සේරම කඩ වහලා හින්දා කවුරුත් නෑ හන්දියේ හිටලා”
මෙම සිද්ධියෙන් බරපතල ලෙස තුවාල ලැබූ 22 හැවිරිදි අනිත් තරුණයා හොරණ දිස්ත්‍රික් මහ රෝහලින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.
මෙම මරණය කණ වැකුණු මොහොතේ සිට සංවේදී වූ බොහෝ පිරිස් නොයෙක් අදහස් පළ කිරීමට කටයුතු කර ඇත්තේ තවදූරටත් මෙවැනි සිදුවීම් වළක්වා තරුණ පරපුර මේ අනතුරින් රැක ගත යුතු බැවින්.
මෙම තරුණයාගේ අවසන් කටයුතු පැවති ගුරුගොඩ හන්දියේ මල් ශාලාවට සහභාගි වූ අනෙකුත් තරුණ මිතුරන්ද යතුරුපැදි පෙළපාලියකින් ඔහුට අවසන් ගෞරව දැක්වීමට කටයුතු කර ඇත්තේ ලෝකයාට කතා කිරීමට මාතෘකා මවාදෙමින්.
කවුරු කොහොම කොයි ලෙස පැවසුවත් ඒ අහිමි වූයේ රටට වැඩදායක හෙට අනාගතය භාර ගැනීමට සිටි හිරිමල් වියේ තරුණයෙක්. ඔහු නැති අඩුව හා වේදනාව දැනෙන්නේ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට මිස අන් කවරෙකුටද?.
උපුටාගැනීම: හිරුගොසිප්
