හිටපු නිලධාරියකුගේ ක්‍රියාකලාපය නිසා දුම්රියට සිදු වූ දැවැන්ත පාඩුව
මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ කොන්ත්‍රාත්තුව භාරගත් ඉන්දීය සමාගමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට අයවිය යුතු රුපියල් කෝටි 37කට ආසන්න දඩ මුදලක් අය කරගැනීම ප්‍රවාහන නිලධාරියකුගේ ක්‍රියාකලාපය මත නැවතී ගොස් ඇතැයි අනාවරණය වී ඇත.
වත්මන් රජයද එම දඩ මුදල් අය කරගැනීම වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න ‘සති අග අරුණ’ට පැවසීය.
මහව සිට ඕමන්ත දක්වා වූ මාර්ගය අදියර දෙකක් යටතේ නවීකරණය කිරීමේ කොන්ත්‍රාත්තුව බාරගෙන තිබුණේ ඉන්දීය ඉරිකෝන් සමාගම විසිනි.
ඇමරිකානු ඩොලර් මිලියන 91ක ගිවිසුම් කොන්ත්‍රාත්තුවකට අනුව මෙම මාර්ගයේ නවීකරණ කටයුතු ආරම්භ කළ අතර එහි පළමු අදියර ලෙස අනුරාධපුර සිට ඕමන්ත දක්වා කොටසේ නවීකරණ කටයුතු අරඹනු ලැබුවේ පසුගිය වසරේ ජනවාරි 08 වැනිදාය.
දෙවැනි අදියර ලෙස අනුරාධපුර සිට මහව අතර කිලෝමීටර් 65ක කොටසේ ඉදිකිරීම් ආරම්භ කළ අතර මෙම කොටස අවසන් කිරීමට එකඟ වී තිබුණේ ඉකුත් ජුනි 06 වැනිදාය. නමුත් මෙම සමාගම අසම්පූර්ණතා හා අඩුපාඩු මැද දුම්රිය දෙපාර්තමේන්තුවට පසුගිය 13 වැනිදා මාර්ගය භාරදී තිබිණි.
කෙසේ වෙතත් මෙම සමාගම නියමිත කාලයට වඩා දින එකසිය විසි හතක් ප්‍රමාද කරමින් දුම්රිය මාර්ගය දුම්රිය දෙපාර්තමේන්තුවට බාරදුන් අතර, ගිවිසුමට අනුව දිනකට ඇමරිකානු ඩොලර් දස දහස බැගින් ඇමරිකානු ඩොලර් දොළොස් ලක්ෂ හැත්තෑ දහසක් ගෙවීමට සිදුව ඇත.
මෙම සමාගමෙන් දඩ මුදල් අය කරගැනීමට මෙම ව්‍යාපෘතියේ අධ්යක්ෂ ලෙස කටයුතු කළ නිලධාරියා සටන් කර ඇතත් පසුගිය රජයේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ හිටපු උසස් නිලධාරියකු විසින් එම නිලධාරියා එම තනතුරින් ඉවත් කර සුදුසුකම් සපුරා නැති නිලධාරියකු පත්කර ඇත.
එලෙස පත් වූ නව නිලධාරියා දඩ මුදල් ගෙවන ලෙසට බලපෑමක් සිදුකර නැති බවත්, එවන් තත්ත්වයක් මත දුම්රිය මාර්ගය දුම්රිය දෙපාර්තමේන්තුවට බාරදී ඇත.
දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ මෙම දඩ මුදල් අයකර ගැනීමෙන් පමණක් මෙම මාර්ගයට සංඥා පද්ධතිය සවිකර ගැනීමේ හැකියාවද පවතින බවය.
මේ දඩ මුදල් අය නොවීම පසුපස විශාල අත යට ගනුදෙනුවක් සිදුව ඇතැයි සැකකරන බවත්, රාජ්‍ය ආදායමක් අහිමි කරලූ නිලධාරීන් හා ඊට සම්බන්ධ පාර්ශ්ව හට ක්‍රියාමාර්ග ගත යුතු බවත් දුම්රිය වෘත්තීය සමිති ඉල්ලා සිටිති.
උපුටා ගැනීම- අරුණ