ත්‍රීරෝද රථය කොල්ලකන්න මිතුරාව පුංචි ලෝකාන්තයෙන් පහලට දැමූ පාපතරයෝ හසුවූ හැටි
මුදල් අගහිඟතා නිසා ඇතිවන ආර්ථික අපහසුතා හේතුවෙන් ඇතැම් අය නොකරන දෙයක් නැත. ඇතැම්හු අනුන්ගේ දේ කඩාවඩා ගනිමින් සොරකම්, කොල්ලකෑම් පමණක් නොව මනුෂ්‍ය ඝාතන සිදු කරති. එහෙත් එවැනි කිසිම අකටයුත්තකට නීතියෙන්නම් කිසිම සමාවක් නැත. මුදල් අගහිඟතාවන් නිසා ත්‍රිරෝද රථයක් කොල්ලකා එහි අයිතිකරු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ පුවතක් පසුගියදා වාර්තා වූයේ බදුල්ල, දිස්ත්‍රික්කයේ ඈත කොනක පිහිටි මඩොල්සිම පොලිස් වසමේ සුන්දර පුංචි ලෝකාන්තයෙනි.
ඉකුත් 30 වැනිදා රාත්‍රියේ හාලිඇළ පදිංචිව සිටි විවේකානන්ද සුජීවන් උපක්රමශීලීව මඩොල්සිම පුංචි ලෝකාන්තයට රැගෙන ගොස් ඔහුට පහර දී සිහිසුන් වූ සිරුර පුංචි ලෝකාන්තයට විසිකර තිබුණේ පසුගිය 1 වැනිදා අලුයම් කාලයේදීයි.
හාලිඇළ පොලිස් වසමේ රොසට්වත්ත දෙවන කොටසේ පදිංචිව සිටි විවේකානන්දන් සුජීවන් ආගිය අතක් නැති බවට ඔහුගේ පියා වන ආන්ඩි විවේකානන්දන් ඉකුත් ඔක්තෝබර් 6 වැනිදා හාලිඇළ පොලිසියට සිදුකළ පැමිණිල්ල ඔස්සේ සුජීවන්ට එම අපරාධය කළ මඩොල්සිම බටාවත්ත වතුයායේ පදිංචි චන්ද්‍රබොස් දයාලන් සහ එම වත්තේම පදිංචිව සිටින රාජේන්ද්‍ර ප්රභාකරන් හෙවත් සුදාකරන් නොහොත් සුදා අත්අඩංගුවට ගැනුණේ ඉකුත් 13 වැනිදා සහ 15 වැනිදාය. ඒ හාලිඇළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලක ඇතුළු කණ්ඩායම සිදුකළ පුළුල් විමර්ශනයකින් අනතුරුවය.
ඉකුත් 16 වැනිදා ඌව කුඩාඔය කොමාන්ඩෝ බළකා පුහුණු පාසලේ නිලධාරින් පිරිසක් කඹ ආධාරයෙන් පුංචි ලෝකාන්තයේ මීටර් 250ක පමණ පහළට බැස ඒ වන විට විනාශ වී තිබූ සුජීවන්ගේ මළසිරුරේ කොටස් සොයාගත්තේ දැඩි පරිශ්‍රමයක් දරමිනි.
දයාලන් සහ ප්රභාකරන් එක්ව සුජීවන්ට එම අපරාධය සිදුකළ ආකාරය හාලිඇළ පොලිස් නිලධාරින් විසින් අනාවරණය කරගත්තේ මෙලෙසිනි.
පසුගිය ඔක්තෝබර් 6 වැනිදා පැමිණිල්ලක් කිරීමට හාලිඇළ පොලිසියට පැමිණියේ රොසට්වත්ත, දෙවන කොටසේ, අංක 11 ලැයිමේ පදිංචි ආන්ඩි විවේකානන්දන්ය.
“සර්… මගේ එකම පුතා සුජීවන්… එයා 30 වැනිදා රෑ ගෙදර නිදාගෙන හිටියා… මං පහුවදා උදේ බලනකොට පුතා නිදාගත්තු තැන හිටියේ නැහැ… සුජීවන්ගේ අක්කා… දිනුෂා… එයා මගේ ලොකු දුව… දුව කිව්වා… මල්ලි ත්‍රීවිල් එකෙන් මඟුල් ගෙදරක යනවා… දවස් දෙක තුනකින් තමයි එනවා කිව්වේ කියලා… දවස් දෙක තුනක් නෙවෙයි සර්… දැන් දවස් පහ-හයක් වෙනවා කොල්ල නෑ… ෆෝන් එකත් වැඩ නෑ… අනේ මගේ කොල්ලා ගැන ආරංචියක් නෑ සර්…“ යැයි හඬා වැටෙමින් ආන්ඩි විවේකානන්දන් හාලිඇළ පොලිස් පොතේ එලෙස පැමිණිල්ලක් සටහන් කෙළේය.
22 හැවිරිදි විවේකානන්දන් සුජීවන් ඇතැම් දිනවලද දින දෙක තුන නිවෙසින් පිටව ගොස් සිටින බවත් එහෙත් මෙවර ඔහු දින හයක් පුරාවට නැවත නිවසට නොපැමිණි බව කී ආන්ඩි විවේකානන්දන් සිය පුතු ඔහුගේ UP AAK 9465 දරන ත්‍රීරෝද රථයෙන් එලෙස ගොස් ඇති බව ද පොලිසියට කීවේය.
එසේම විවේකානන්දන් වැඩිදුරටත් පොලිසියට කීවේ පුතු සහ ත්‍රීරෝද රථය ගැන සොයා බලද්දී එම ත්‍රීරෝද රථය පසුගිය වසරේදී රුපියල් ලක්ෂ තුනහමාරක මුදලක් දී මාසික වාරිකය රුපියල් 13000 බැගින් ගෙවීමට සිය පුතු මිලට ගත් තැනැත්තාටම නැවත විකුණා ඇති බවට වන ‘කතාන්දරය‘තිබෙන බවයි. එසේම ත්‍රීරෝද රථය විකිණීම ගැන සැලවීමත් සමඟ සුජීවන්ගේ පියා එම ත්‍රීරෝද රථයේ පෙර හිමිකරු රාජේන්ද්‍ර දයාලන් හමු විය.
“දයාලන්… මගේ පුතා දවස් පහ-හයක ඉඳන් ආගිය අතක් නෑ… වීල් එක තමුන් ගාව තියෙනවා කියලා මට ආරංචියක් ආවා…“ යැයි විවේකානන්දන් පැවැසීය.
“ඔව් අංකල්… සුජීවන් වීල් එක මට ආපහු විකුණුවා…“ යැයි කියමින් දයාලන් ත්‍රිවිලරය විකුණද්දී සුජීවන්ට මුදල් ලබා දෙද්දී ලබාගත් ඡායාරූපයක් සහ සුජීවන් විසින් ත්රීවිලරය නැවත බාරදීම මැයෙන් සුජීවන් මුද්දරයක් මත අත්සන් යොදා දයාලන් රුපියල් ලක්ෂ හතරයි අසූවක් දුන් බවත් තවත් රුපියල් 20,000ක් දීමට ඇතැයි සුජීවන්ගේ ඡායාරූපය ද සහිත ලිපියක් ද විවේකානන්දන්ට පෙන්වීය.
අනතුරුව දයාලන්, විවේකානන්දන්ට නැවත කියන්නේ තමා ත්රීවිලරය ෆිනෑන්ස් සමාගමකට විකුණු බවය.
“අංකල්… සුජීවන් එදා මාව හම්බ වෙන්න ආවේ තව ගෑනු ළමයෙක් එක්ක… ඒ ළමයා සිංහල… මට ආරංචි වුණ විදිහටනම් සුජීවන් සල්ලිත් අරන් ඒ ගෑනු ළමයත් එක්ක පැනලා ගිහින් වගේ…“ යැයි ඔහු අනතුරුව තවත් අමුතු කතාවක් කීවේය.
ඒ අතරේ දයාලන් විසින් පෙන්වන ලද ඡායාරූපයේ වූයේ ත්රීවිලරය තුළ සිට සුජීවන්ට රුපියල් පන්දහසක මුදල් නෝට්ටු මිටියක් දෙන ආකාරයයි. සුජීවන්ගේ සිරුරු කොටස් පසුගිය 16 වැනිදා සොයා ගැනුණේ එම ඡායාරූපයේ ඇඳ සිටි කමිසය ද සමඟිනි.
ආන්ඩි විවේකානන්දන් හාලිඇළ පොලිසියට හෙළි කළ තොරතුරු ඔස්සේ සුජීවන්ගේ අතුරුදන් වීමට සැකපිට දයාලන් පොලිසියට ගෙන්වා ප්‍රශ්න කරන ලදි. දයාලන් හාලිඇළ පොලිස් වසමට කිලෝමීටර් 35ක 40ක පමණ දුරින් පිහිටි මඩොල්සිම පොලිස් වසමේ බටාවත්තේ පදිංචිකරුවෙකි. ඔහු විවාහ වී සිටියේ හාලිඇළ කුවින්ස්ටවුන් වත්තේ කාන්තාවක සමඟිනි. එක්දරු පියකු වන දයාලන්ගේ බිරිය ඒ වන විට දෙවන දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගතව සිටියාය.
ඉකුත් 8 වැනිදා හාලිඇළ පොලිසියට කැඳවූ දයාලන්ගෙන් පොලිසිය ප්‍රශ්න කළේය.
“සර්… සුජීවන් ගැන මං මුකුත්ම දන්නේ නෑ… හැබැයි මගේ ගාවට ආව දවසේ මම සල්ලි දීලා ත්‍රිවිල් එක ගත්තා… මෙන්න සල්ලි දීපු ලියුම… ඊට වඩානම් මම මුකුත්ම දන්නේ නෑ…“ යැයි දයාලන් කීවද ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී ඔහු කිසියම් ‘අවුල‘ක පසුවන බවක් ඔහුගේ හැසිරීමෙන් හාලිඇළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලකට දැනෙන්නට වූයේ මෙවැනි විමර්ශන පිළිබඳ ලද අත්දැකීම් ඔස්සේය.
ඒ අතරේ ඉකුත් ඔක්තෝබර් 10 වැනිදා හාලිඇළ පොලිස් නිලධාරින්ට සැල වූයේ දයාලන් බදුල්ල රෝහලට ඇතුළුව ප්‍රතිකාර ගනිමින් සිටින බවයි. ඒ පිරිසක් ඔහු පැහැරගෙන ගොස් වස පෙවූ සිදුවීමක් හේතුවෙන් බවටය. රෝහලෙන් නික්ම ගිය පසු නැවත දයාලන් හාලිඇළ පොලිස් නිලධාරින්ගේ භාරයට ගෙන ප්‍රශ්න කළේය.
“සර්… එදා පොලිසියෙන් ගියාට පස්සේ මට කෝල් එකක් ආවා… කෝල් එක දීපු කොල්ලා ඇටම්පිටිය පැත්තේ ඉන්නවා කියලා මට එන්න කිව්වා… අනේ සර්… මං එතෙන්ට ගියාම පස්දෙනෙක් හිටියා… උන් ඔක්කොම එකතුවෙලා මට ගැහුවනේ… මට හොඳටම ගහලා වස පෙව්වා සර්… ඊට පස්සේ මට අමාරු වුණා… මං හොස්පිට්ල් ගියා…“ යැයි දයාලන් කිසියම් පාපෝච්චාරණයක් කළ ද පොලිස් නිලධාරින්ට ඔහුගේ මුව පරීක්ෂා කරද්දී වස පානය කළ ආකාරයක් මෙන්ම තමන්ට පස්දෙනෙක් එක්ව පහර දීමක් නිසා ඇතිවී තිබෙන කිසිම තුවාලයක් හෝ ඔහුගේ සිරුරේ දක්නට නොවීය. ඒ නිසා පොලිසියේ සැකය තීව්ර වන්නට විය.
“කෝ… තමුන්ට ඇටම්පිටියට එන්න කියලා කෝල් කරපු නම්බර් එක… දෙනවා බලන්න උන් කවුද කියලා අපි සොයන්නම්…“ යැයි පොලිස් පරීක්ෂක රුවන් දැඩිව ඔහුට කීවේය.
“අනේ සර්… මට එහෙම මතක නෑ… මට පොඩි ෆෝන් එකක් තිබුණේ… ඒකත් උන් එදා අරන් පොළොවේ ගැහුවා…“ යැයි දයාලන් පැවැසීය.
පොලිස් නිලධාරින් වැඩිදුරටත් දයාලන්ගේ වෛද්‍ය වාර්තා පරීක්ෂා කරද්දී දයාලන්ගේ මුවේ වස තැවරි තිබූ ආකාරයක් සඳහන් වී තිබුණේ එම වස වර්ගය ද සමඟිනි. ඇතිවූ එම සැකය මත පොලිස් නිලධාරින් හාලිඇළ නගරයේ වස වර්ග විකිණීමට තිබෙන වෙළෙඳසල් පරීක්ෂා කරන ලදි. එහිදී පොලිස් නිලධාරින් මවිත කරමින් එක් වෙළෙඳසලක සීසීටීවී කැමරාවක සටහන් වී තිබුණේ දයාලන් වස බෝතලයක් මිලදී ගන්නා ආකාරයයි.
එම හෝඩුවාවත් සමඟ දයාලන් නැවත හාලිඇළ පොලිසියට කැඳවා පොලිස් පරීක්ෂක රුවන් ප්‍රශ්න කරන්නට විය.
“තමුන් මොකටද වස බෝතලයක් සල්ලි දීලා ගත්තේ…? දැන් තමුන්ට වස පෙව්වනම් පොවලා තියෙන්නේ මේ වසමයි… ඇත්ත කියනවා… තමුන් මොකටද වස බෝතලයක් ගත්තේ…“ යැයි පොලිස් පරීක්ෂක රුවන් දැඩි ස්වරයකින් ප්‍රශ්න කරද්දී දයාලන් තිගැස්සී ගියේය.
අනතුරුව තමන්ට පොලිසියෙන් ගැලවීමක් නොමැති බව දත් හෙයින් දයාලන් සිය මිතුරු ප්රභාකරන් සමඟ එක්ව සුජීවන්ට කළ කී දෑ සියල්ල හෙළි කළේ අපරාධයක් කළහොත් දක්ෂ පොලිස් නිලධාරින්ගෙන් ගැලවීමක් නොමැති බව නැවත පසක් කරමිනි.
ඒ අනුව ඉකුත් 30 වැනිදා සිට ආගය අතක් නොමැතිව සිටි සුජීවන්ට සිදුකළ අහස – පොළොව නුහුළන අපරාධයේ සුලමුල හෙළි වූයේ ඉකුත් 13 වැනිදා සුජීවන් හාලිඇළ පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දීය. ඒ අනුව හෙළිවන්නේ මෙවැන්නකි.
මඩොල්සිම බටාවත්තේම පදිංචිකරුවකු වන 39 හැවිරිදි රාජේන්ද්‍ර ප්රභාකරන් හෙවත් සුදාකරන් සිවුදරු පියෙකි. ඔහු කොළඹ කොටුවේ වෙළෙඳසලක් කුලියට ගෙන පවත්වාගෙන ගිය අයෙකි. එම වෙළෙඳසල පාඩු ලැබීම නිසා එය වසා දමා ප්රභාකරන් ඉකුත් සැප්තැම්බර් 25 දා මඩොල්සිම ගියේය. එදින ගමට ගිය ඔහුට හමු වූයේ දයාලන්ය.
“දයාලන්… අපි ගමේම මොකක්හරි බිස්නස් එකක් කරගෙන යමුද මචං… ජීවත්වෙන්න මාර අමාරුයි…“ යැයි දයාලන් පැවැසීය.
“මචං… සුදා මගේ වීල් එක තිබුණනේ… ඒක මං ගිය අවුරුද්දේ හාලිඇළ එකෙකුට ලක්ෂ තුනහමාරකට දුන්නා… ඕනනම් ඌ බය කරලා ඒක ආයිත් ගනිමු…“ යැයි දයාලන්ගේ යෝජනාවට දෙදෙනාම එකපයින් කැමැති වී එම ත්රීවිලරය මිලට ගත් සුජීවන් හාලිඇළ සිට මඩොල්සිමට ගෙන්වා ගැනීමට සැලැස්මක් කල්පනා කළෝය. ඒ අනුව දයාලන් ඊට දින දෙක තුනකට පසු සුජීවන්ට දුරකතන ඇමතුමක් දුන්නේය.
“සුජීවන්… අපිට ළිඳක් කපනකොට මැණික් වගේකුයි රත්තරන් බඩු ටිකකුයි හම්බ වුණා… ඒක තැනක හංගලා තියෙන්නෙ… ඒ ටික අරන් වැල්ලවායට යන්න ඕන… උඹට එන්න පුළුවන්ද…? බිස්නස් එකෙන් පස්සේ උඹටත් ලොකු ගාණක් දෙන්නම්… මොකද ඒ බඩු ටික විකුණලා ලොකු ගාණක් ගන්න පුළුවන්…“ යැයි දයාලන්, සුජීවන්ට පැවැසීය.
එකී යෝජනාවට සුජීවන් එකපයින් කැමැති වූයේ ඔහුට ද මුදල් පිළිබඳ ඇතිවූ ආසාව නිසාවෙනි. ඒ අනුව සුජීවන් මඩොල්සිම ගොස් දයාලන් සමඟ වැල්ලවායේ ගමන යාමට සූදානම් විය. ඔහු ඒ සඳහා නිවසේ සිටි සිය වැඩිමල් සහෝදරියට බොරුවක් කීවේ මඟුල් ගෙදරක යන නිසා දින දෙක තුනක් නිවසට නොඑන බවය.
සුජීවන් එම ගමන යාමට පිටත් වූයේ පසුගිය සැප්තැම්බර් 30 වැනිදා මධ්‍යම රාත්‍රියේය. නිවසේ නිදා සිටි සුජීවන් මධ්‍යම රාත්‍රියේ අවදිව ගියේ මඩොල්සිම නගරයටය.
සුජීවන් මඩොල්සිම නගරයට යන විට පළමු වැනිදා අලුයම 2.30ට පමණ වී තිබිණි. මඩොල්සිම නගරයේ ඉන්ධන පිරවුම් හලක් අසලදී සුජීවන්ට දයාලන් හමු වූයේ දයාලන්ගේ මිතුරෙක් ද සමඟිනි. ඔහු ප්රභාකරන් හෙවත් සුදාකරන්ය. එම ස්ථානයේදී තිදෙනා මඳක් කතාබහට වැටිණි.
“සුජීවන් අපිට මැණික් පතලක් හම්බවෙලා තියෙනවා… ඒක අපේ නමට ගන්න බෑ… හැබැයි අපි සල්ලි දෙන්නම්… උඹගේ නමට ගනින්… අන්න ඒකට මේ ලියුමට අත්සනක් දාපන් මචං…“ යැයි දයාලන් පැවැසීය.
ඒ සමඟම සිංහල බසින් ලියා තිබූ එම ලිපියට සුජීවන් අත්සන් තැබීය. ඔහුට සිංහල බස නොහැකි වුවත් එහි සත්‍ය අසත්‍ය විමසීමකින් තොරව අත්සන් යොදා තිබුණේ දයාලන්ගේ විශ්වාසය මතය.
“ඒයි සුජීවන්… අපි ඒ ඉඩම උඹට සල්ලිවලට දුන්නා වගේ පෙන්නන්න… උඹට සල්ලි දෙන විදිහට අපිට පොටෝ එකක් ගන්න ඕන…“ යැයි දයාලන් කීමත් සමඟ සුජීවන්ට රුපියල් පන්දහසේ නෝට්ටු කීපයක් දෙන ආකාරයේ රුපියල් 20 කොළ ද යටට තබා මුදල් මිටියක් දෙන ආකාරයෙන් ඡායාරූපයක් ගැනිණි. එම ඡායාරූපය හාලිඇළ පොලිසියේ නිලධාරින් සිදුකළ විමර්ශනයේදී දයාලන් ළඟ තිබී පොලිසියට අතට පත්වූ ඡායාරූපයයි.
එසේ ඡායාරූපයක් ද ගැනීමෙන් පසු සුජීවන්ට කීවේ මැණික් සහ රත්රන් සඟවා තිබෙන එළමාන ප්‍රදේශයේ තැනකින් ලබා ගැනීමට පුංචි ලෝකාන්තය දෙසට යමු කියායි. ඒ සමඟම සුජීවන්ට සැක සංකා මතුවෙමින් කිසියම් බියක් දැනෙන්නට විය.
“මට එහේ යන්නනම් බෑ…“ යැයි සුජීවන් දැඩි ස්වරයෙන් කීවේය.
ඒ සමඟම නංචක්කුවක් වැනි ආයුධයක් ළඟ තිබී අතට ගත් දයාලන් සුජීවන්ගේ කන හරහා පහරක් ගැසීය. ඒ සමඟම සුජීවන් සිහිසුන් විය.
“ඊට පස්සේ සර්… අපිට කරන්න දෙයක් තිබුණේ නෑ… අපි දෙන්නා බය වුණා… පස්සේ සුජීවන්ගේ කට ලේන්සුවකින් බැන්දා… දෙන්නත් එක්ක අත් දෙකෙනුයි කකුල් දෙකෙනුයි උස්සගෙන පුංචි ලෝකාන්තය ළඟට අරන් ගියා… ඒ ගිහින් කකුල් දෙකෙනුයි අත්දෙකෙනුයි දෙපැත්තට ඇදලා තුන්පාරක් පද්දලා පුංචි ලෝකාන්තයට විසි කළා…“ යැයි දයාලන් පාපෝච්චාරණය කළේ හිත්පිත් නැත්තකු විලසිනි.
එලෙස සුජීවන්ගේ ජීවිතය අවසන් කළ දෙදෙනා ඔහුගේ ත්‍රිරෝද රථය රැගෙන එම ස්ථානයෙන් පලා ගියේය. පසුව පළමු වැනිදා දින බදුල්ල නගරයේ ෆිනෑන්ස් ආයතනයකට ගිය දෙදෙනා ත්‍රිරෝද රථය ෆිනෑන්ස් ආයතනයට විකුණා තිබුණේ හයලක්ෂ පනස්දහසක මුදලකටය.
දෙදෙනා එම මුදල බෙදාගෙන තිබුණේ දයාලන්ට රුපියල් ලක්ෂ තුනහමාරක් සහ ප්රභාකරන්ට රුපියල් ලක්ෂ තුනක් ලෙසිනි. දයාලන්ගේ මුදල්වලින් ඔහු ලක්ෂ එකහමාරක මුදලකට නැඟණියට රන් මාලයක් මිලට ගෙන තිබී එම රන් මාලය ද පොලිසිය භාරයට ගැනිණි. ෆිනෑන්ස් ආයතනයට විකුණු ත්‍රිරෝද රථය එම ආයතනය ද බදුල්ල, කන්දේගෙදර පුද්ගලයකුට විකුණා තිබියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
“සර්… ඕක තමයි වුණේ සර්….“ යැයි දින ගණනාවක් බොරු බේගල් ඇදබාමින් සිටි දයාලන් සියල්ල පාපෝච්චාරණය කරමින් පැවැසීය.
ත්‍රිරෝද රථය විකිණීමෙන් පසු මුදල් බෙදා ගැනීමෙන් අනතුරුව ප්රභාකරන් මඩොල්සිමෙන් පිටමංව මඩකළපුවට ගියේය. දයාලන් මඩොල්සිම සහ හාලිඇළ කුවින්ස් ටවුන් වත්තේ බිරියගේ නිවසට ද යනඑන අතරේ සාමාන්‍ය පරිදි කල් ගෙවුවද ඔහුට එම සිදුවීමෙන් පසු කිසිම දිනෙක නින්දක් නොගිය බවද පොලිසියට හෙළි කළේය.
මඩකළපුවට පලා ගිය ප්රභාකරන් එහි සිට දුරකතන ඇමතුම් දෙමින් දයාලන්ගෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් පොලියට ඉල්ලමින් සිටියේය. ඒ බව දයාලන් පොලිසියට ද කීවේය.
පොලිස් අත්අඩංගුවේ සිටි දයාලන්ට පොලිස් නිලධාරින් කීවේ රුපියල් ලක්ෂ දෙකක් නොව රුපියල් ලක්ෂයක මුදලක් දිය හැකි යැයි කියා ප්රභාකරන්ට දුරකතන ඇමතුමක් දෙන ලෙසය. ඒ අනුව දයාලන් ඉකුත් 15 වැනිදා ප්රභාකරන්ට දුරකතන ඇමතුමක් ගත්තේ රුපියල් ලක්ෂයක් තමන් ළඟ තිබෙන බවත් එය ලබා ගැනීමට අවශ්‍යනම් හාලිඇළට එන ලෙසටය. එම දුරකතන ඇමතුමට ක්ෂණයෙන් එදින ප්රභාකරන් හාලිඇළ නගරයට පැමිණියේය. ඒ ඉකුත් 15 වැනිදාය. ඒ මොහොතේ ප්රභාකරන් පැමිණීමට නියමිතව සිටි ස්ථානය අවට රැකවල්ලා සිටි හාලිඇළ පොලිස් නිලධාරින් ප්රභාකරන් ද අත්අඩංගුවට ගත්තේ සුජීවන්ට කළ අහස-පොළොව නුහුළන අපරාධය හේතුවෙනි.
දයාලන්ගේ පාපෝච්චාරණයෙන් පසු සුජීවන්ගේ මළසිරුර සොයා පොලිසිය සහ ප්‍රදේශවාසීහු පුංචි ලෝකාන්තයේ දුෂ්කර කර්තව්‍යයක නිරත වුවද සිරුර සොයා ගැනීමට නොහැකි විය. එහෙත් සුජීවන්ගේ යැයි අනුමාන කළ හිස්වැස්මක් හමුවිය. පසුව උසස් පොලිස් නිලධාරින්ගේ දැනුම් දීම මත බදුල්ල, එළදළුව යුද හමුදා කඳවුරේ නිලධාරින්ගේ සහාය ද ඇතිව සුජීවන්ගේ මළසිරුර සොයා පුංචි ලෝකාන්තයේ විශේෂ සෝදිසි කිරිම් සිදු කළද සිරු සොයා ගැනීමට නොහැකි වූයේ පැවැති දැඩි මීදුම සහ වර්ෂාපතනය මෙන්ම අධික ශීත දේශගුණය නිසාවෙනි.
එහෙත් සිරුර සෙවීමේ කටයුතු අත් නොහළ පොලිසිය අනතුරුව ඌව කුඩාඔය යුද හමුදා කොමාන්ඩෝ පුහුණු පාසලේ නිලධාරින්ගේ සහාය ලබාගත්තේය. ඉකුත් 16 වැනිදා පෙරවරුවේ කපිතාන් ජයසිංහගේ නායකත්වයෙන් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ කඹ ආධාරයෙන් පුංචි ලෝකාන්තයට බැස විනාශ වී ගිය සුජීවන්ගේ සිරුරේ කොටස් සොයාගත්තේ මීටර් 250ක පමණ ප්‍රපාතයේ තිබියදීය. සුජීවන්ගේ සිරුර සොයාගන්නා ඔහුගේ සිරුරේ දයාලන් මුදල් දෙන විට ලබාගත් ඡායාරූපයේ කමිසය ද තිබිණි.
හාලිඇළ පොලිසිය සිදු කරන ලද සූක්ෂ්ම විමර්ශනයෙන් පසු අත්අඩංගුවට ගත් දයාලන් සහ ප්රභාකරන් ඉදිරි විමර්ශන සඳහා අපරාධය සිදුවූ පොලිස් වසම වන මඩොල්සිම පොලිසියට බාර කෙරිණි. මඩොල්සිම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. පී. දිසානායකගේ මෙහෙයවීමෙන් පස්සර මහේස්ත්‍රාත් උදිත සම්පත් ගුණතිලක වෙත ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ඉකුත් 19 වැනිදා සුජීවන්ගේ මළසිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ බදුල්ල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්. ඇම් .කේ. බී. විජේතුංග එම මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දුන්නේය.
දින 16ක පමණ කාලයක් අතුරුදන්ව සිටි සුජීවන්ගේ ඉරණම් ගමන විසඳුණු ආකාරය අනාවරණය කරගැනුණේ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ උපදෙස් මත හාලිඇළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලක ඇතුළු කණ්ඩායම සිදුකළ පුළුල් විමර්ශනය නිසාවෙනි.
බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල සහ බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්තගේ උපදෙස් මත පොලිස් අධිකාරි පී. එම්. ජයරත්න සහ සහකාර පොලිස් අධිකාරි දිලිප් ද සිල්වාගේ අධීක්ෂණයෙන් මඩොල්සිම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. පී. දිසානායක, හාලිඇළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලක ඇතුළු නිලධාරිහු විමර්ශන සිදු කළහ.
අමිල මලවිසූරිය ඡායාරූප – සොරණාතොට සමූහ සී. ගමගේ
උපුටා ගැනීම- සිළුමිණ