සිය දිවි න සා ගත් තරුණ යුවළ
මිනිස් වාසයෙන් ඈත්ව මහා හුදෙකලාවක සිටින භික්ෂුවට කරන්නට තිබෙන දේවල් බොහෝය. එම හුදෙකලාව තුළ භික්ෂුවට හිතේ හැටියට තමන්ව ශක්තිමත් කරගත හැකිය. මෙවැනි අඳුරු ගල් ලෙනක ගිනිමැලයක් ළඟ කරන්නට බොහෝ දේවල් තිබේ.
වතුර භාජනය ළිප තබා රත් කර ගත යුතු ය. ගිලන්පස ටිකක් වළඳා නැවතත් භාවනා කළ යුතු ය. රැහැයියන්ගේ හඬ නොනැවතී ඇසේ. අදත් රැය පහන් කරමින් සිටින නිදි නොමැති කුරුල්ලන්ගේ සහ නින්දෙන් ශබ්ද කරන කුරුල්ලන්ගේ හඬ ඉවරයක් නැතිව ඇසේ. ගිලන්පස වළඳා භාවනා ආසනයේ අසුන් ගත්තෙමි.
දෑස් පියාගෙන අර තරුණ යුවළ ගැන සොයමින්, භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ආකාරයටම සියල්ලම සිදු වන ධර්ම කාරණා දෙස බලමින් දහම් සුවය විඳිය යුතු ය. අද සිත ගැන තවත් සෙවිය යුතු ය. කොන්ද කෙළින් කරගෙන සිත ධ්‍යානයට බර කරමින් එයට සමවැද ඉන්පසුව එම සුවය ටිකක් විදින්නට සිතුවෙමි. ධ්‍යාන සුවය මහා සැපයකි. පැයක් පමණ සිටින්නට අධිෂ්ඨාන කළෙමි. ඉන්පසුව අදාළ දේ කළ හැකි ය.
නියමිත කාලය ගෙවී ඇත. සමවැදුණ ධ්‍යානයෙන් ඉවත්ව අභිඤ්ඤාවලට සිත යොමු කළ යුතු ය. මේ දෙක ගැන විමසමින් අතරේ සිටින මොහොතේ අත්වල බරට යමක් ඇතිල්ලෙන බව දැනුණි. සිටි තැනට එන්නට අධිෂ්ඨාන කර ගනිමින් දෑස් ඇර බැලුවෙමි. බර දැන් තදින් දැනේ. ඔවු සිතුණ දේ හරිය. මේ ලෙන අවට ජීවත් වන පිඹුරු තඩියා මොකක් හෝ විශාල ගොදුරක් ගිල තිබේ. ඔහු ගල් ලෙන ඇතුළට ඇදෙමින් සිටියි.
වාඩි වී සිටි භික්ෂුවගේ ඇඟ හරහා තිබෙන්නේ ඔහුගේ බඩයි. වනගත ජීවිතයේදී නයි, පොළොංගු, දිවි මකුළුවන්, පිඹුරන්, ගෝනුස්සන් කියන්නේ අරුම පුදුම දෙයක් නොවේ. ඔවුන්ගේ ලෝකයේ මිනිසුන් ජීවත් වන විට ඔවුන් ඒ තැන්වලට පැමිණීම සාමාන්‍ය දෙයකි. නිසොල්මන්ව ටික වේලාවක් රැඳී සිටියෙමි. දැන් පිඹුරා ඇඟ හරහා ගොස් අවසන් ය. ඔහු මාගේ ගල් ලෙනේ අද රැය පහන් කරන බව පෙනේ. මට මෙතැනින් ඉවත් වීමට සිදු වේ.
එතැනින් නැඟිටියෙමි. ඒ සමීපයේම තිබෙන අනිත් ගල් ලෙනට යන්නට තීරණය කළෙමි. එම ගල් ලෙන මෙම ලෙනට වඩා තරමක් කුඩාය. සක්මන් කිරීමට ඉඩකඩ මදිය. මෙම ගල් ලෙන තරමක් විශාලය. මෙහි සක්මන් කිරීමට ද, ගිනිමැළයක් ගසන්නට ද ඉඩ තිබේ. දර ගොඩ ගසා රැස් කර ගන්නට ද, වතුර ටිකක් රත් කර ගන්නට ද ඉඩ තිබේ. අනිත් ගල් ලෙනට පිටත් වූවෙමි. ගිනිමැලය නොමැති නිසා තද සීතලක් දැනේ. කමක් නැත අද පිඹුරා මාගේ ගල් ලෙනේ නවාතැන් ගන්නවා ඇත. මෙම ගල් ලෙන ආරක්ෂිත ය. දොරක් ද තිබේ. වස් වසන මාස තුනට අප රැය පහන් කරන්නේද වස් අධිෂ්ඨාන කර ගන්නේ ද මෙම ගල් ලෙනේය. භික්ෂුව නැවතත් ධ්‍යානයට සම වැදුණි. පෙර විසූ බව පරික්ෂා කළ යුතුය. අර තරුණ යුවළ ගැන තවත් විස්තර සෙවිය යුතුය. ඔවුන්ගේ සිත් දැඩිව කෙලෙස් බර වී තිබුණි.
සිත ගැන තවත් ටිකක් ගැඹුරින් පරික්ෂා කරන්නට භික්ෂුවට සිතක් ඇති විය. භාග්‍යවතුන් වහන්සේ සිත ගැන දේශනා කර තිබෙන්නේ කෙසේද ?
කතමං තස්මිං සමයෙ චිත්තං හොති? යං තස්මිං සමයේ චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධෝ තජ්ජා මනොවිඤ්ඤාණ ධාතු. ඉදං තස්මිං සමයෙ චිත්තං හොති.
තේරුම :-
“සිත ලෙස හඳුන්වන්නේ කුමක්ද? යම් චිත්තයක්, මනසක්, මානසයක්, සිතක්, (පණ්ඩර වූ) භවාඞ්ග සිතක්, මනසක්, මනායතනයක්, මනින්ද්රියයක්, විඥානයක්, විඥානස්කන්ධයක්, තදනුරූප වූ මනෝවිඥාධාතුවක් වේ ද, මෙය සිත ලෙස හඳුන්වනු ලැබේ.
ඉහත සඳහන් කළ ආකාරයට සිත හදුන්වන නම් රාශියක් තිබේ. විවිධ නම්වලින් හදුන්වන විඤ්ඤාණයේ ස්වභාවය වන්නේ “ආරම්මණ විජාණන ලක්ඛණං චිත්තං” ලෙස හදුන්වන අරමුණු දැනීමේ ස්වභාවයයි. අරමුණු දැනීම් හයක් තිබේ. ඒ චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය සහ මනෝ විඤ්ඤාණය යි. මීට අමතරව සිදු වන විවිධ ක්‍රියාවන් අනුව විඤ්ඤාණය ඉහත නම්වලින් වෙන වෙනම හඳුන්වනු ලැබේ.
“විඤ්ඤාණය” යන තනි වචනයෙන් හැඳින්වුවත්, විඤ්ඤාණය ද කොටස් තුනකට බෙදේ. ඒ කුසල විඤ්ඤාණ, අකුසල විඤ්ඤාණ හා අව්‍යාකෘත විඤ්ඤාණ ලෙසයි. මින් අව්‍යාකෘත විඤ්ඤාණයත් කොටස් දෙකකට බෙදේ. ඒ විපාක විඤ්ඤාණ හා ක්‍රියා විඤ්ඤාණ ලෙසයි. “සංඛාර පච්චයා විඤ්ඤාණං” යන තැන කියවෙන්නේ විපාක විඤ්ඤාණය යි. විපාක විඤ්ඤාණ ගැන දැනගැනීමට පෙර සිත ගැන අවබෝධයක් තිබිය යුතුයි.
අභිධර්මයේ සිත ගැන දේශනා කර තිබෙන්නේ මේ ආකාරයට ය.
“සිත” ලෙස හඳුන්වන්නේ අරමුණු දැනීමේ ශක්තියට ය. ඒ අරමුණු දැනීම ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්රිය පස නිසාත් ශුද්ධ මනෝද්වාරය නිසාත් ඇති වේ. සචේතනික වස්තු වන සත්ත්වයන්ට හැර අචේතනික වස්තුවලට සිතක් නැත.
“සිත” යන තනි වචනයෙන් හැඳින්වුවත් එක සත්ත්වයකුට ඇත්තේ එකම සිතක් නොවේ. එය සිත් පරම්පරාවකි. සිත් පරම්පරාවක් බව නොවැටහෙන්නේ සිත් ඉතා වේගයෙන් ඉපිද නැතිව යන නිසාත් අතරක් නැතිවම හටගන්නාත් නිසාය. සිත් එකවර දෙකක් ඇති වන්නේ නැත. එක වරකට හට ගන්නේ එක සිතක් පමණි. ඒ හට ගන්නා සිත ද එක අරමුණක් පමණක් ගන්නා අතර අරමුණු දෙකක් ගන්නේ නැත. එසේම එක සිතක් එකවර ගනු ලබන්නේ ද එක් අරමුණක එක් ස්වභාවයක් පමණි. අරමුණක ස්වභාව දෙකක් එකවර ගන්නේ ද නැත.
මේ සිත අතිශයින්ම සුන්දරය. ඒ බව තේරුම් ගන්නට සිත හට ගන්නා ආකාරය, සිතේ ආයුෂ, සිත උපදින්නේ කවර තැනක ද? යනාදී කරුණු දැන ගෙන සිටිය යුතු ය.
සිත හට ගන්නා ආකාරය
සිතක් හට ගන්නට ස්ථාන හයක් තිබිය යුතු ය. එම ස්ථාන “වස්තු රූපය” ලෙස හඳුන්වනු ලැබේ. වස්තු රූපය නොමැතිව සිත් හටගන්නා ස්ථාන තිබෙන්නේ සතරක් පමණි. ඒ අරූපාවචර භූමි වේ. එම අරූපී භූමි හැර අනෙක් සෑම භූමියක දී ම සිතක් ඇති වීමට නම් වස්තු රූපය තිබිය යුතු ය. වස්තු රූපය කියන්නේ ප්‍රසාද රූපය යි. එම ප්‍රසාද රූපය සහ එහි හට ගන්නා සිත් මෙසේය.
චක්ඛු විඤ්ඤාණ සිත් දෙක හට ගන්නේ ඇස තුළ කළු ඉංගිරියාව මැද උකුණු හිසක් වැනි තැනක පිහිටා තිබෙන, කර්මයෙන් හට ගන්නා ප්‍රසාද රූපයේ ය.
සෝත විඤ්ඤාණ සිත් දෙක හටගන්නේ කන් බිල ඇතුළෙ ඇති තුනී තඹවන් රෝම ඉද්දක් වැනි තැනක පිහිටා ඇති කර්මයෙන් හට ගන්නා ප්‍රසාද රූපයේ ය.
ඝාණ විඤ්ඤාණ සිත් දෙක හට ගන්නේ කනේ එළූ කුරයක් වැනි තැනක පිහිටා ඇති කර්මයෙන් හටගන්නා ප්‍රසාද රූපයේ ය.
ජිව්හා විඤ්ඤාණ සිත් දෙක හට ගන්නේ දිවේ නෙළුම්පතක් වැනි තැනක පැතිර පිහිටා ඇති කර්මයෙන් හටගන්නා ප්‍රසාද රූපයේ ය.
කාය විඤ්ඤාණ සිත් දෙක ශරීරයේ නියපොතු, කෙස් වැනි තද තැන් හැර අනෙක් සෑම තැනකම පැතිර පවතියි.
ඉහත සඳහන් කළ සිත් දහය හැර අනෙක් සියලුම සිත් පහළ වන්නේ හෘදය වස්තුවේ අඩපතක් පමණ රුධිරය ඇසුරු කරගෙන පැතිර පවතින කර්මයෙන් හටගන්නා ප්‍රසාද රූපයේ ය. සිත හට ගන්නේ එම ස්ථානවල ය.
සිතක් හට ගන්නේ කෙසේද ?
සිතක් හට ගන්නට අරමුණක් තිබිය යුතුම ය. අරමුණු කියා කියන්නේ සිතට දැනෙන ඒවාටය. සිතට දැනෙන අරමුණු හයක් තිබේ. ඒවා නම් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, ධම්ම යන හයයි. දුර්වලයකුට නැඟිටීමට හැරමිටියක් වුවමනා වනවාක් මෙන් සිතක් ඇති වීමට අරමුණක් තිබිය යුතුම ය. ලෞකික, ලෝකෝත්තර,ප්රඥප්ති, පරමාර්ථ සියල්ල මෙයට අයත් ය.
සිතකට අරමුණු විශාල ප්‍රමාණයක් හමුවේ. එහෙත් එක සිතක් හට ගන්නේ එක අරමුණක් සමඟ පමණි. එක අරමුණක් සමඟ ඇති වූ සිතකට තවත් අරමුණක් ගැනීමට ද පුළුවන්කමක් නැත. පළමු සිත නැතිව ගියායින් පසුව ඊළඟට ඇතිවන සිත කලින් නැතිව ගිය සිත ගත් අරමුණම හෝ වෙනත් අරමුණක් හෝ ගෙන පහල වේ.
මේ ආකාරයට විවිධ අරමුණු ගෙන සිත් උපදිමින් නැතිව යමින් නැවත උපදිමින් චිත්ත සන්තතිය පවතියි. එක භවයක් අවසන්ව මියගොස් නැවත භවයක් හට ගන්නා විටදීත් මේ සිත් පරම්පරාව අතරක් නොමැතිව නොසිඳී පවතී.
චුති සිත, ප්රතිසන්ධි සිත, භවාංග සිත
මේ සිත එකක් නොවේ පරම්පරාවකි. ඉතාමත්ම වේගයෙන් ඇතිව නැතිව යන මේ පරම්පරාවේ භවයක පළමු හටගැන්ම එහි පැවතීම හා එහි අවසාන සිත අනුව වෙන වෙනම නම්වලින් සිත හඳුන්වනු ලැබේ. ඒ චුති සිත, ප්රතිසන්ධි සිත, භවාංග සිත ලෙසට ය.
මීළඟ ලිපියෙන් තවත් විස්තර බලාපොරොත්තු වන්න.
වනගත භික්ෂුවකගේ අත්දැකීම් ඇසුරින් සකස් කරන ලද්දකි.
- Dinamina