මුනුපුරා බේරාගැනීමට ඉදිරියට ආ සීයා නොඑන ගමන් යයි
වැලේ ගෙඩි වැලට බර නැතුවා මෙන්ම සෑම මවක් පියෙක් තමන්ගේ දරුවා මැණිකකටත් වඩා වටිනා බව දන්නේ ඔවුන්ම පමණි. උණහපුළුවාටත් උගේ පැටවා මැණිකක් මෙන්ම වටිනවා යැයි කියන්නේ ඒ නිසා විය යුතුය. මේ කතාවද එවන් එකකි. සෙනෙහස නිසා වියපත් කෙනෙකුට සිය දිවි අහිමි වූ ශෝචනීය සිද්ධියක් පිළිබඳ මේ කතාව වාර්තා වූයේ අඟුරුවාතොට පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදු කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය.
පොලිස් විමර්ශනවලට අනුව සිද්ධිය පෙළ ගැසෙන්නේ මේ අයුරිනි.
අසූ එක් හැවිරිදි වියේ පසු වූ මෙම පුද්ගලයා පදිංචිව සිටියේ අඟුරුවාතොට, පෙතිගමුව ප්රදේශයේය. ගත දුබලව වියපත්ව විශ්‍රාමිකව සිටියද ඔහුගේ හිතේ ශක්තිය නම් අඩුවක් වී නොතිබුණේය. බොහෝ අගහිඟකම්වලට මෙන්ම දුක්ගැහැටවලට ද මුහුණ දී ඇති ඔහු තම දරු පවුල ගොඩනඟා ගැනීම වෙනුවෙන් සිදු කළ කැපවීම් බොහෝය.
දියණියන් සිවුදෙනෙකුගේ පියෙකු වූ ඔහු බාලම දියණියත් ඇගේ දරු පවුලත් සමඟ සිය නිවෙසේ සැඳැ සමය ගත කර ඇත්තේ සාමකාමීවය.
විවාහය අසාර්ථක වූ දෙවැනි දියණියගේ පුතු වන සමීර කුඩා කල සිට හැදි වැඩුණේ ද මෙම නිවෙසේය. මවුපිය සෙනෙහස අහිමිව ගිය ඔහු වඩාත් සමීප වූයේ සීයා වෙතටය. මුනුපුරාට සීයා ගසට පොත්ත මෙන් වූයේ ඒ නිසාය. තරමක් හිතුවක්කාර ලෙස කටයුතු කළ සමීර මුනුපුරා නිසා සමහර අවස්ථාවල සීයාට පොලිසි ගානේ රස්තියාදු වීමට සිදු වූ අවස්ථා ද නැතුවා නොවේ. එහෙත් 26 වසරක් පුරා සීයා කැප වූයේ ඔහු වෙනුවෙන් යැයි කීවොත් මුසාවක් නොවනු ඇත.
වියපත් වුවද සමීරගේ සීයා නිවෙස අසල ඇති වෙළෙඳසලට පවා තනිවම ඇවිදගෙන ගියේය. එහෙත් ඒ එක් අත් වාරුවක ආධාරයෙනි. පොලිසියට ගියෙත් එලෙසය. ඒ මුනුපුරා බේරා ගැනීම සඳහාය.
ස්ථිර රැකියාවක් නොකළ මුනුපුරා කුලී වැඩ කරමින් කීයක් හෝ උපයා ගැනීමට උත්සාහ කළේය. එදිනද ඔහු වැඩට ගොස් නිවෙසට පැමිණියේ හැන්දෑවේ පහට පමණය.
මෙම නිවෙසට ආසන්න නිවෙස්වල පදිංචිව සිටි කුමාර සහ තුසිත, සමීරලාට දුරින් ඥාතීන්ය. එහෙත් සමීර සමඟ ඔවුන් දෙදෙනා සිටියේ තරමක් අමනාපයෙන් යුතුවය.
කුඹුරු වැඩ නිමා කර පැමිණි කුමාර නිවෙස ඉදිරිපිට බැම්ම උඩ වාඩි වී සිටියේ තරමක් මත්පැන් පානය කිරීමෙන් අනතුරුවය. ටික වේලාවකින් තුසිතද එතැනට පැමිණි අතර ඔහු සහ සමීර අතර ‘වචන හරඹයක්’ පටන් ගත්තේ පසුගිය සිද්ධියක් මුල් කරගෙනය. ඒ වසර පහකට පමණ පෙර සංගීත සංදර්ශනයක් නැරඹීමට ගිය අවස්ථාවේ මේ අය අතර ඇති වූ පහර දීමක් සම්බන්ධයෙනි. අළුයට ගිනි පුපුරු මෙන් වරින්වර මතු වෙමින් ගිනි ගන්නා මෙම සිද්ධිය නිසා දෙපාර්ශ්වය අතර විරසකය නිතරම වර්ධනය වීමට පටන් ගත්තේ පරාජය භාර ගැනීමට කිසිවකුත් සූදානම් නොවූ නිසාය. කෙසේ වුවත් ඊළඟ මොහොතේ සමීර සිටියේ ඇඟපත සෝදා ගැනීමට සූදානම් වී දත් මදිමින් සාලයේ ඉඳගෙනය. ඔහුට ඇසුණේ නිවෙස පිටුපස දෙසින් ශබ්දයකි. ඒ ගැන විපරම් කර බැලීමේදී දුටුවේ කුමාරත් තුසිතත් කිතුල් ලී පත්තක් රැගෙන පැමිණෙන බවය. සාලයට කඩාපාත් වූ මොවුන් දෙදෙනා සූදානම් වූයේ සමීරට පහර දීමටය. ඔවුන් කිතුල් ලී පත්තෙන් පහර දීමට පෙර සමීර එය උදුරා ගත්තේ පහර දීම වළකා ගැනීම සඳහාය. එහෙත් එම නිවෙසේ තිබූ ඇලුමිනියම් පටියක් එක් අයෙකුගේ අතට හසු වන අතර අනෙක් පුද්ගලයාගේ අතට ලීයක් හසු වෙන්නේ සටන තව තවත් උග්‍ර කිරීමටය. සාලය මැද යුද පිටියක් කරමින් මේ සටනේ උච්චතම අවස්ථාව වන විට ඉහළට එසවුණු ඇළුමිනියම් පටිය සමීර සොයා පහළට ආවේ සමීර බේරා ගැනීමට සීයා මැද්දට පැන ඇති බව නොදැනය. සීයාගේ ගෙල ප්‍රදේශයෙන් ලේ විදින බව දුටු ඔවුන් පලා යන්නේ ඇති වූ බිය නිසාය. දමිළ චිත්‍රපටයක මෙන් ඇවිළි ගිය සටන එතැනින් නිවී ගියේ ක්ෂණයෙනි. නිවැසියන් විසින් තුවාල ලත් සීයා හොරණ මහ රෝහලට රැගෙන එන අතරේ සීයා සමුගෙන ගියේ මුනුපුරාගේ ජීවිතය බේරා ගැනීමෙන් පසුවය.
මෙම සිද්ධිය පිළිබඳව හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ රෝහල් පොලිසිය මඟින් අඟුරුවාතොට පොලිසියට දැනුම් දුන් අතර මුනුපුරා විසින් පොලිසියට දැනුම් දෙන්නේ ඉන් පසුවය.
අඟුරුවාතොට පොලිසියේ නිලධාරින් විමර්ශන ආරම්භ කිරීම සිදු කළේ අධිකරණයට සහ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් වෙතද මේ පිළිබඳ තොරතුරු ලබා දෙමිනි.
එසේ මියගොස් ඇත්තේ තඹවිටගේ ආරොන් සිංඤ්ඤෝ නමැති 81 හැවිරිදි පුද්ගලයකු බවත් ඔහු නො. 249/ බී, අඟුරුවාතොට පාර, පෙතිගමුව, හල්තොට ලිපිනයේ පදිංචි අයෙකු බවත් අනාවරණය වන්නේ මේ අනුවය.
එදිනම එක් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගැනෙන අතර අනිත් පුද්ගලයා පැමිණ භාර වූයේ අපරාධයක් සිදුකර සැඟවී සිටීමට නොහැකි බව ඔප්පු කර පෙන්වා දෙමිනි.
පහර දීමට යොදාගත් ඇළුමිනියම් පටියද ඔවුන්ගේ නිවෙස් අසල කැලෑවට විසිකර තිබී සොයා ගැනීමට පොලිසිය කටයුතු කර තිබිණි. එමෙන්ම ‘කිතුල් ලී පත්ත’ සහ ලීය ද පොලිසිය භාරයට ගෙන ඇත්තේ නඩු භාණ්ඩ වශයෙනි.
හොරණ මහ රෝහලේදී පැවති මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සඳකැන් වඩුගේ විසින් ලබා දී ඇත්තේ විවෘත තීන්දුවකි.
කෙසේ වුවත් තනිවම තම වැඩපළ කරගෙන සිටි සීයාට මෙලෙස අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යාමට සිදු වූයේ තම ඇස් දෙක මෙන් රැක බලා ගත් මුනුපුරාව විරුද්ධවාදීන්ගෙන් බේරා ගැනීමට ඉදිරිපත් වීම නිසාවෙනි.
පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායකගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී සම්පත් බණ්ඩාරගේ අධීක්ෂණයෙන් අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් ආනන්ද සිල්වාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්.ඩී. එම්. එන්. එල්. නිශ්ශංක, උප පොලිස් පරීක්ෂක වැදිසිංහ, සැරයන් 55834 අනුරුද්ධ, කොස්තාපල්වරුන් වන 29027 මහින්ද, 99625 අබේකෝන්, 99331 මධුවන්ත, 84873 සමීර, 99277 පුබුදු, 100310 රුක්ෂාන්, 12183 කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වන ශ්‍යාමලී, 13226 චමෝදි යන නිලධාරීන් නිලධාරිනියන් මේ පිළිබඳ විමර්ශන සිදු කළහ.
විනීතා මානෙල් ගමගේ හල්තොට සමූහ
උපුටාගැනීම: සිළුමිණ