හිටපු ජනපති මහින්ද ආරක්ශකයන්ට ගෞරවනීයව සමුදුන් හැටි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද සිය ආරක්ෂාවට සිටි ප්රභූ ආරක්ෂක නිලධාරීන් පිරිසකට ගෞරවාන්විතව සමුදුන්නා…
ඒ සංවේදී මොහොත ගැන සිය ෆේස්බුක් ගිණුමෙත් සටහනක් තබා තිබුණා… ප්රභූ ආරක්ෂක නිලධාරීන් පිරිසක් දෙපා වැදලා ඔහුගෙන් සමුගත්තා… මේ කියන්න හදන්නේ ඒ සමුගැනීම ගැනයි…
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයින් 116ක් වහාම ක්රියාත්මක වන පරිදි ප්රභූ ආරක්ෂක රාජකාරීන්වලින් ඉවත් කිරීමට තීරණය කිරීමත් සමග අද (13) එම නිලධාරීන් රාජකාරීන්වලින් ඉවත් වීම සිදුවුණා.
එහිදී එම නිලධාරීන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගෙන් ආශිර්වාද මැද සමුගත් අතර, ඔවුන්ට ස්වකීය කෘතඥතාවය පළකරමින් ඔහු විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
එමඟින් ඔහු පවසන්නේ, ඔහුගේ සහ පවුලේ සැමගේ ජීවිත ආරක්ෂා කරදීම උදෙසා ඉමහත් කැපකිරීම් කළ සියල්ලන්ටම තමා හෘදයාංගම ස්තූතිය සහ ප්රණාමය පළකරන බවයි.
ප්රභූ ආරක්ෂක රාජකාරිය තුළ ඔවුන් සැම විසින් ඉටු කළ සේවය ගෞරවාන්විත හා විශිෂ්ට සේවයක් බවද තමා මේ මොහොතේ සිහිපත් කරන බව ඔහු එම සටහන මගින් සඳහන් කරනවා.
එම සටහන පහතින්,
“වසර ගණනාවක් පුරා මාගේ සෙවනැල්ල සේ ඉතා ම සමීපව, ළෙංගතුව මෙන්ම විශ්වාසනීය ව තම රාජකාරි ඉටු කරමින් මගේ සහ මගේ පවුලේ සාමාජිකයන්ගේ ජීවිත ආරක්ෂා කරදීම උදෙසා ඉමහත් කැපකිරීම් කළ ඔබ සැමට මගේ හෘදයාංගම ස්තූතිය සහ ප්රණාමය ප්රකාශ කරමි.
රාජ්ය සේවයට අවංක ඔබ වැනි විශිෂ්ට නිලධාරින්ගේ සේවය සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේ අභිමානය තව තවත් ඔප්නංවන බව මාගේ විශ්වාසයයි. ප්රභූ ආරක්ෂක රාජකාරිය තුළ ඔබ විසින් ඉටු කළ සේවය ගෞරවාන්විත හා විශිෂ්ට සේවයක් බව මා මේ මොහොතේ දී සිහිපත් කරමි.
ඔබ සැම ඇතුළු පවුල්වල පිරිසගේ ද විශ්ෂයෙන්ම ඔබේ දුවා දරුවන්ගේ ද අනාගත කටයුතු සාර්ථක වේවා යැයි ප්රාර්ථනා කරමින්, මෙපමණ කාලයක් පුරාවට මා සමඟ සිටි මාගේ නිල දරුවන්ට නැවත වරක් ස්තූති වන්ත වෙමි.
ඔබ සැමට තෙරුවන් සරණයි.”