ත්‍රිරෝද රථ අමතර උපාංග ඉවත් කිරීමේ තීරණය වෙනස් කරයි
ත්‍රිරෝද රථවල නීත්‍යානුකූලව සවිකර ඇති අමතර උපාංග ඉවත් නොකිරීමට පොලිසිය තීරණය කර ඇත. මෙම වැදගත් තීරණය ගනු ලැබුවේ ඊයේ (15 වන දින) පොලිස් මූලස්ථානයේදී පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය.
පොලිස්පතිවරයා සහ සමස්ත ලංකා ත්‍රිරෝද රථ උපාංග කොටස් නිෂ්පාදකයන් හා අලෙවිකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් අතර පැවති මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ 2021 වර්ෂයේ නිකුත් කරන ලද අංක 22/40/37 දරන ගැසට් පත්‍රය පිළිබඳවය. එම ගැසට් පත්‍රය මගින් ත්‍රිරෝද රථවල අමතර උපාංග සවි කිරීම සම්බන්ධ නෛතික රාමුව හා සීමාවන් පැහැදිලිව දක්වා ඇත.
නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා මෙම සාකච්ඡාවේදී වැදගත් කරුණු කිහිපයක් අවධාරණය කළේය. විශේෂයෙන්ම සීමාවන් පැනවීමේ මූලික අරමුණ වන්නේ මාර්ග භාවිත කරන සියලු පාර්ශවයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම බව එතුමා පැහැදිලි කළේය. මේ අතර ත්‍රිරෝද රථ රියැදුරන්, මගීන් සහ අනෙකුත් මාර්ග භාවිත කරන්නන්ගේ ආරක්ෂාව ප්රමුඛ ස්ථානයක තබා ඇති බව ද සඳහන් කළේය.
ගුණසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලද උදාහරණයක් ලෙස පැති කණ්ණාඩි සවි කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙරිණි. ඒ අනුව පැති කණ්ණාඩි සවි කිරීමේදී ගැටීමකදී පිටුපසට නැමෙන ආකාරයට සවි කළ යුතු බව පැහැදිලි කළේය. තවද, ත්‍රිරෝද රථයේ සමතුලිතතාවය බිඳ නොවැටෙන ආකාරයට අමතර කොටස් සවි කිරීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණි. රියැදුරුගේ දර්ශන පථයට බාධාවක් නොවන ආකාරයට මෙම සියලු උපාංග සවි කළ යුතු බව ද එතුමා පෙන්වා දුන්නේය.
පොලිසිය විසින් තවදුරටත් අවධාරණය කළේ ත්‍රිරෝද රථ උපාංග කොටස් නිෂ්පාදකයන් සහ අලෙවිකරුවන්ගේ රැකියා සුරක්ෂිතතාවය පිළිබඳව ද සැලකිලිමත් වන බවයි.
කෙසේ වෙතත්, නීතියට අනුකූල නොවන හා අන්තරාදායක ලෙස සවිකර ඇති කොටස් ඉවත් කිරීමට කටයුතු කරන බව ද පැහැදිලි කරන ලදී.
මෙම වැදගත් සාකච්ඡාවට බස්නාහිර පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා, රථවාහන හා මාර්ග ආරක්ෂාව දසාවභාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා, පොලිස් ප්‍රවාහන කොට්ඨාසයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංජුල මහහිරිල්ල මහතා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් රැසක් සහභාගී විය.
නව තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් නිලධාරීන් දැනුවත් කරනු ලබන බව ද නිවේදනය කෙරිණි. මෙම තීරණය මගින් ත්‍රිරෝද රථ කර්මාන්තයේ නියැලෙන පාර්ශවයන්ට සහ මහජන ආරක්ෂාවට සමබර විසඳුමක් ලබා දීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
gossip lanka news