රොෂානි පෙරේරාගේ කෑ ගැසීම ඇතුළෙ වැඩක්දැයි සැකයක්
රථවාහන වරදක් සිදු කළ පසු පොලිසිය මගින් ‘තරාතිරම අනුව’ ෂේප් කිරීමේ කලාව ලංකාවට අවේනිකය. මං අහවල් තැන වැඩ කරන්නේ අහවලාගෙ අහවලා වැනි කතා කියාගෙන ‘ලොකුකමින් බය කිරීම’ පොලිස් පොඩ්ඩන්ට නිතර පුරුදුය. නමුත් දැන් එවැනි කතා කියාගෙන එන අය විඩියෝගතවී යූටියුබ් ටික්ටොක් වල හිට්වී අන්ත අසරණ වන කාලයක් උදාවී ඇත්තේය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ සහෝදරියක් ලෙස පවසමින් රථවාහන රාජකාරියේ යෙදුණු පොලිස් නිලධාරීන්ට බාධා කළ බව කියන කාන්තාව නොවැම්බර් 10 වන දින දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් සීලණි පෙරේරා මහත්මිය අද (03) නියෝග කළාය. සැකකාරිය දෙවන වරටත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් වූ අතර, ඇයව ඉකුත් 01 වන දා ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් තුසිත සෙනරත් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද දින දක්වා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ පිහිටි බන්ධනාගාර සිර මැදිරියේ රඳවා තබා තිබිණි.
මෙම සිදුවීම වාර්තා වී තිබුණේ ගම්පහ කොට්ඨාස රථ වාහන අංශයේ නිලධාරීන් ගම්පහ – කොටුගොඩ මාර්ගයේ රාජකාරියේ යෙදී සිටියදී, උඩුගම්පොළ දෙසින් පැමිණි සැකකාරියගේ මෝටර් රථය අන්තරාදායක ලෙස ධාවනය කිරීම හේතුවෙන් එය නැවැත්වීමට සංඥා කළ අවස්ථාවේදීය. ඇය එම පොලිස් අණ නොතකා රථය ධාවනය කිරීම නිසා, නිලධාරීන්ට කිලෝමීටර් 15 ක පමණ දුරක් ඇයව ලුහුබැඳ ගොස් මිනුවන්ගොඩ, පොල්වත්ත හන්දියේදී රථය නවත්වා ගැනීමට සිදුව තිබේ.
එහිදී රියදුරු බලපත්‍රය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති සැකකාරිය, තමන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ “නංගි” බව පවසමින් කනිෂ්ඨ පොලිස් නිලධාරීන් නොමඟ යැවීමට සහ ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීමට කටයුතු කර ඇත. මෙම අවස්ථාවේ ඇය කලහකාරී ලෙස හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේද ප්‍රචාරය වූ අතර, පසුව ඇයව මිනුවන්ගොඩ පොලිසියේ කාන්තා නිලධාරිනියන්ගේද සහාය ඇතිව අත්අඩංගුවට ගෙන තිබිණි.
කොළඹ 08, බේස්ලයින් පාරේ සහ කොළඹ 05, තිඹිරිගස්යායේ යන ලිපින දෙකක පදිංචිකාරියක ලෙස දැක්වෙන 46 හැවිරිදි එම්.ඒ.එම්. රොෂානි පෙරේරා හෙවත් මීරියම් රොෂානි භූතානි නැමැති මෙම ව්‍යාපාරික කාන්තාව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කිසිදු ඥාතියෙකු හෝ හිතවතෙකු නොවන බවට විමර්ශනවලදී තහවුරු වී ඇති බව පොලිසිය පවසයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාද එම කරුණ සනාථ කර ඇත.
අද දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක එක දරන ශාලාවේ නඩුව කැඳවූ අවස්ථාවේ, ගම්පහ මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් ද සිල්වා මහතා සහ කාන්තා පොලිස් පරීක්ශිකා පියදර්ශනී මහත්මිය පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වීය. සැකකාරියට එරෙහිව අන්තරාදායක ධාවනය, පොලිස් අණ නොතැකීම, සාපරාධී බලහත්කාරය පෑම, අන් අයෙකු ලෙස පෙනී සිටීම සහ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා ගොනු කර ඇති බවත්, ඇය සතුව රියදුරු බලපත්‍ර දෙකක් සහ පදිංචි ස්ථාන දෙකක් පැවතීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට අවශ්‍ය බවත් පැමිණිල්ල අධිකරණයට වාර්තා කළේය.
මෙහිදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කෙසේ ප්‍රනාන්දු මහතා, තම සේවාදායිකාව දියවැඩියාව ඇතුළු රෝග කිහිපයකින් පෙළෙන බවත්, ඇයට දරුවකු සිටින බවත්, ඇය නිතර කෝපයට පත්වන තැනැත්තියක් බවත් පවසමින් ඇප ඉල්ලා සිටියේය.
මීට පෙර වාර්තාවක පළවූයේ මෙම කාන්තාව ඇගළුම් කම්හල් ආයතන ව්‍යාපාරිකයෙකුගේ බිරිය බවත් ව්‍යාපාර ගොඩනැගිල්ලක ඉදිකිරීමේ වැඩකට ඉංජිනේරුවෙකු හමුවීමට යමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ පෑ බවත්ය.
කෙසේ වෙතත්, දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය, ඉදිරිපත් වූ වීඩියෝ දර්ශන අනුව සැකකාරියගේ හැසිරීම කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බවත්, ඇප ලබා දුනහොත් ඇය අධිකරණය මගහැර යා හැකි බවත් පෙන්වා දුන්නාය. ඒ අනුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය, සැකකාරියට ප්‍රතිකාර අවශ්‍ය නම් බන්ධනාගාර රෝහලට යොමු කළ හැකි බව දන්වමින් ඇයව ලබන 10 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.
මේ අතර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින්, පොලිසියේම කිසියම් අදිසි හස්තයක මෙහෙයවීම මත මෙම කාන්තාව හිතාමතාම මෙසේ හැසිරුණේද යන්න පිළිබඳවද සැකයක් පවතින බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. ගම්පහ මූලස්ථාන පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
