ලක්ෂි කොටු පනියි
මිනිස්සු කියන දේවල්වලට බය වුණොත් නිළියක් වෙන්න බැහැ – ලක්ෂි ජයවර්ධන
ලක්ෂි ජයවර්ධන මේ දවස්වල කොටු පනින්නලු යන්නෙ. එක එක්කෙනා තැන තැන කතාවෙනව අපිටත් ඇහුණා. ඇත්තටම මොකක්ද මේ කතන්දරේ. කාලයක් දකින්න හිටියෙ නැති වුණත් ආයෙත් වැඩ පටන්ගත්ත ගමන් අහන්න ලැබුණ මේ කතාවෙ ඇත්ත නැත්ත දැනගන්න අපි ලක්ෂි එක්ක පොඩි චැට් එකක් දැම්මා.
ලක්ෂි, මොකක්ද මේ කොටු පනින කතන්දරේ?
ඔව්, මේක අසංක සායක්කාර අයිය සිරසට කරන අලුත්ම වැඩේ. කතාව පුරාවට හැම චරිතයක්ම කොටුවක් පනිනව. එක එක්කෙනාගෙ ජීවිත කතාවෙ කොහොමද ඒක වෙන්නෙ, මොන හේතු නිසාද කියල කතාවෙන් පෙන්නල දෙනව.
කොහොමද මේ ආරාධනය ලැබෙන්නෙ?
සුමති සම්මාන උළෙලේදි මාව නැගී එන නිළිය හැටියට නොමිනේට්වෙලා තියෙද්දි සායක්කාර අයිය මට කිව්ව මේ වගේ වැඩක් තියෙනව, අපි කරමු කියල. මමත් ආසාවෙන් හිටියෙ සායක්කාර අයියගෙ වැඩකට සම්බන්ධ වෙන්න. මොකද ඔහු ගොඩක් වෙලාවට වෙනස් වැඩක්නෙ කරන්නෙ.
පසුගිය කාලෙ ස්පා එකක වැඩ කළා?
ඒ චරිතයට නම් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඇත්තටම සම්මානයක් බලාපොරොත්තුවෙන් කරපු චරිතයක් නෙමෙයි. නමුත් කාලෙකට පස්සෙ කරපු වැඩක් නිසාත්, චරිතයට සාධාරණයක් කළ නිසාත් නිර්දේශිත නාම අතරට යන්න අවස්ථාව ලැබෙන්න ඇති.
නිර්දේශිත නාම අතරට ඔබේ නම ඇතුළත් වීම ගැන අදහස මොන වගේද?
ඇත්තටම ඒක මාව මෝටිවේට් කළා වගේ වැඩක්. කාලෙකින් වැඩ කරන්න ආපු නිසා ඒක මට හරිම විශේෂයි.
කාලෙකින් වැඩ කරන්න ආපු නිසා ලැබුණ ප්‍රතිචාර මොන වගේද?
මම නැවත වැඩ කරන්න පටන්ගත්තට පස්සෙ ‘මීවිත’ අතිරේකයේම ඒ ගැන විස්තරයක් පළවුණා. සුපුන් අයියගෙ ‘තප්පරයක් දෙන්න’ නිර්මාණය හරහා තමයි ප්‍රේක්ෂකයන් දැනගත්තෙ මම නැවතත් වැඩකරනව කියල. ඉන්පස්සෙ මාඕ සහ චාලක අයියලගෙ ආරාධනයෙන් ‘ෆ්ලැට් නොවන ෆ්ලැට්’ නිර්මාණයට සම්බන්ධ වුණා.
දෙවැනි ආරම්භය මොන වගේද දැනුණෙ?
ඇත්තටම මම මුලින්ම ක්ෂේත්රයට ආවට වඩා මේ දෙවැනි ආරම්භය හොඳයි කියල මට හිතෙනව.
පසුගිය දවස්වල රාවණ චිත්‍රපටයටත් සම්බන්ධ වුණා?
ඔව්, රාවණ චිත්‍රපටයේ භද්‍රා කියන විලන් රෝල් එකක් මට ලැබුණෙ. මේකප් කළාට පස්සෙ හොයන්න බැහැ ඒ මමද කියල. මම අධ්යක්ෂ තුෂාර තෙන්නකෝන් අයියට විහිළුවට කිව්වා අයියේ මගෙ නම ගහගන්න වෙයි, නැත්නම් මාව හොයාගන්න බැහැ කියල. ඒක මම හරිම ආසාවෙන් කරපු වෙනස්ම චරිතයක්.
ඔබ කැමති ජනප්‍රිය නිළියක් වෙන්නද?
අපි කරන චරිතය හරියට කරනව නම් ප්‍රේක්ෂකයන් අතර අපි කොහොමත් ජනප්‍රිය වෙනව. ජනප්‍රිය කියන දේත් කලාකරුවකුට අවශ්‍යයි. නමුත් මම කැමතියි චරිතාංග නිළියක් විදිහට හොඳම නිළිය කියන තැනට යන්න. ඒ ගමන යන්න මේ දෙවැනි ආරම්භයේදි මට නිර්මාණ ලැබෙනව. හදිසියක් කලබලයක් නැතිව ලැබෙන චරිත හොඳින් කරන්නයි මම උත්සාහ කරන්නෙ.
සමාජයෙන් අපවාද නැගෙන චරිත භාරගන්නෙ දෙගිඩියාවෙන්ද?
ඇත්තටම මිනිස්සු කියන දේවල්වලට බය වුණොත් නිළියක් වෙන්න බැහැ. ඒ වගේම මම හරි ආසයි මේ වගේ චරිතවලට. මොකද මේ චරිත ඇතුළෙ කරන්න දේවල් තියෙනව.
අභියෝග භාරගන්න සූදානම්?
ඔව්, ඒකට මම හරිම ආසයි. ඒ වගේම මම ලොකු තෘප්තියක් ලබනව. මට ලැබෙන චරිතයකින් ලක්ෂිව නොදැක ප්‍රේක්ෂකයාට වෙනම කෙනෙක්ව දකින්න පුළුවන්වෙන විදිහට ඒ චරිතය කරන්න පුළුවන්නම් ඒක කරන්න තමයි මම නිතරම උත්සාහ කරන්නෙ.
ක්ෂේත්රයට ආපු කාලෙ මුහුණ දුන්න අභියෝග ගැන අද වන විට කොහොමද දැනෙන්නෙ?
ඔව්, එදා මට මුහුණ දෙන්න සිදු වුණ සිදුවීම් වලට පිළිතුරු මගේ නිර්දේශ වීමත් එක්ක ලැබෙනව ඇති කියල මම හිතනව. ඒ වගේම කාලය ගොඩක් ප්‍රශ්නවලට උත්තර ලබා දෙනව කියල මම විශ්වාස කරනව.
එදා ලබපු අත්දැකීම් වර්තමාන ජීවිතයට මොන විදිහටද බලපාන්නෙ?
මේ වයසට මම ජීවිතේ අත්දැකීම් ගොඩක් ලබල, ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනව. ඒවායින් යම්තාක් පරිනතයි කියල මම හිතනව. වර්තමානයේ හැමදේම හොඳින් කරගත්තොත් අනාගතයේදීත් හැමදේම හොඳින් සිදුවේවි කියන විශ්වාසයෙන් ජීවත් වෙනව.
රාවණ නිර්මාණයේදී අපූරු අත්දැකීම්වලටත් මුහුණ දුන්නා?
තුෂාර අයියත් එක්ක වැඩ කළොත් අමතක නොවෙන දේවල් කොහොමත් සිද්ධ වෙනව. මේ වතාවෙත් බුලත් විට කන්න දුන්නා. කට රතු වෙන්න හුණු දුංකළත් කන්න ඕනනෙ. ඒවාට මත් වෙලා, පැය දෙකක් විතර ෂූටිං නවත්තලා ඉන්නත් සිද්ධ වුණා. බුලත් වෙනුවට වෙනත් දෙයක් භාවිතා කරන්න පුළුවන් වුණත් මගේ චරිතයට ගැළපෙනම දේ ඒක නිසා නුපුරුදු වුණත් මම ඒක කළා. නමුත් ඒක හරි සුන්දර සිද්ධියක් වුණා.
රංගනයට උපරිම සාධාරණය කරන්න සූදානම්?
මම රංගනයට ආදරය කරනව සහ ගෞරව කරනව. මට ලැබෙන චරිතය කරන්නෙ හරිම ආදරෙන්. හැම චරිතයකටම මම පොතක් මේන්ටේන් කරනව. ක්ෂේත්රයේ අධ්යක්ෂවරයෙක්මයි මට ඒක කියල දුන්නෙ. අපි ආදරෙන් දෙයක් කළොත් ඒ දෙයින් අපිව ඔසවල තියනවනෙ. මං හිතනව මම කරන වෘත්තියත් යම් කාලයකදි මාවත් එහෙම තැනකින් තියයි කියල.
මහේෂ් එදිරිසිංහ
