බස්නාහිර උතුරු දිසාවේ පොලිස් නිලධාරිනියන් ක්ලාන්ත වන අලුත් හේතුව
බස්නාහිර උතුරු දිසාව භාර පොලිස් බල ප්‍රදේශයක ස්ථානාධිපතිවරයෙකු ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ දරුණු බැණ වැදීම් දරාගත නොහැකිව, පොලිස් නිලධාරිනියන් දෙදෙනකු අවස්ථා දෙකකදී ක්ලාන්ත වී ඇද වැටී ඇති බවට පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මීට දින කිහිපයකට පෙර, මෙම ස්ථානාධිපතිවරයා විසින් සිය නිල කාර්යාලයට කැඳවන ලද පොලිස් නිලධාරිනියකට, කිසියම් කරුණක් මුල් කරගනිමින් පොළොවේ පා සෙලවමින්, අධික ශබ්දයෙන් කෑගසා දෝෂාරෝපණය කර ඇත. එම බැණ වැදීම දරාගත නොහැකි වූ ඇය, ස්ථානාධිපතිවරයාගේ නිල කාමරය තුළදීම සිහිසුන්ව ඇද වැටී ඇති බව එම ආරංචි මාර්ග අනාවරණය කළේය.
පළමු සිදුවීමෙන් දින ස්වල්පයකට පසුව, තවත් පොලිස් නිලධාරිනියක්ද ස්ථානාධිපතිවරයාගේ නිල කුටියට කැඳවා ඇති අතර, ඇයටද පෙර පරිදිම උස් හඬින් බැණ වැදී කෑගැසීම නිසා ඇයද ක්ලාන්ත වී ඇද වැටී ඇතැයි සඳහන් වේ. මෙම අවස්ථා දෙකේදීම සිහිසුන් වූ නිලධාරිනියන්ව නැවත පියවි සිහියට ගන්වා ඇත්තේ, සෙසු පොලිස් නිලධාරිනියන් විසින් ඔවුන්ගේ මුහුණට ජලය ඉසීමෙන් අනතුරුව බවද දැනගන්නට ඇත.
අදාළ ස්ථානාධිපතිවරයා නිතරම පාහේ තමා යටතේ සේවය කරන නිලධාරීන්ට මෙන්ම නිලධාරිනියන්ට අසභ්‍ය වචන පවා භාවිතා කරමින් බැණ වදින බවත්, මෙම තත්ත්වය හේතුවෙන් ඔවුන් දැඩි මානසික අපහසුතාවයකට සහ කලකිරීමකට පත්ව ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පෙන්වා දෙයි. තවද, පොලිස් දෙපාර්තමේන්තුවේ ඉතා ඉහළ තනතුරක් දරන නිලධාරියෙකුගේ නම භාවිතා කරන මෙම ස්ථානාධිපතිවරයා, තමා සහ එම ඉහළ නිලධාරියා පොලිස් අභ්‍යාස විද්‍යාලයේ එකට පුහුණුව ලැබූවන් බවත්,
එම දැඩි හිතවත්කම නිසා තමන් කිසිවෙකුට බිය නොවන බවත් පවසමින් යටත් නිලධාරීන්ට අශෝභන ලෙස දෝෂාරෝපණය කරන බවද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු ඊයේ (15) දින ප්‍රකාශ කළේ, අදාළ ස්ථානාධිපතිවරයා නිලධාරීන්ට අසභ්‍ය වචනයෙන් බැණ වදින බවට තොරතුරු ලැබී ඇති බවත්, ඒ පිළිබඳව මේ වන විටත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්ය. එමෙන්ම, උස් හඬින් කෑගසා බැණ වැදීම නිසා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු ක්ලාන්ත වී ඇති බවට ද තොරතුරු වාර්තා වී ඇති බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් තහවුරු කළේය.
gossip lanka news
